පුරා සත් දිනක් මෙරට සුවහසක් බැතිමතුන්ගේ මුදුනත් වන්දනාවට පාත්‍ර වූ දෙව්නි මෝරි අති උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පුදබිමෙන් පිටතට වැඩම කරවනු ලැබුවා,
දෙස් විදෙස් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඉතා චාම්ව සංවිධාන කරනු ලැබූ මෙම පූජෝත්සවය සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඉන්දියාවේ සිට පසුගිය පස්වැනිදා ශ්‍රී ලංකාවට වැඩම කරවූ දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ දින 7ක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ, අතිවිශේෂ ගන්ධ කුටියක තැන්පත් කෙරුණේ මෙරට ජනතාවට සියැසින් දැක, වන්දනාකරගැනීම සඳහායි.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සත් දිනක්, 24 පැය පුරාම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට අවස්ථාව ලබා දුන් අතර දින කිහිපය පුරාම ඉතා දිගු පෝළිම්වල රැඳී සිටිමින් ජනතාව මහත් උනන්දුවෙන් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගත්තා.
කෙසේවෙතත් ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි පිරිස රැඳී සිටින පෝළිම් වෙත ඊයේ රාත්‍රි 10න් පසු ජනතාව එක් නොකිරීමටයි පියවර ගැනුනේ.
ඒ අනුව අද පෙරවරු 6 ට උත්තම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීම සඳහා ලබාදුන් අවස්ථාව අවසන් වුණා.
ඉන් අනතුරුව මෙම පුණ්‍ය කර්තව්‍ය වෙනුවෙන් සිය සක්‍රිය දායකත්වය ලබාදුන් ආරක්ෂක අංශයේ සාමාජිකයින්, කම්කරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසටත් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමට අවස්ථාව සැලසුණා.
පුරා දින 7ක් මෙරට බැතිමතුන්ගේ සදා වන්දනීය වූ අති උතුම් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද උදෑසන වත් පිළිවෙත් මධ්‍යයේ ගංගාරාම විහාරස්ථාන පුද බිමෙන් පිටතට වැඩමකරවනු ලැබුවා.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාර මංගුභායි පටෙල්, අරුණචාල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති චෞනා මෙයින් ඇතුළු දූත පිරිසක් ද එක්වුණා.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි ඉන්දියාවට වැඩම කරවීමට නියමිතයි.





