කයිට්ස් ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා පලායාමට උත්සාහ කළ වෑන් රථ යේ සෙන්ටිමීටර් 75ක් පමන දිගැති තියුණු ආයුධයක්

යාපනය කයිට්ස් ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා පලායාමට උත්සාහ කළ වෑන් රථයේ තිබී, ගවයන්ගේ මලපහ, සෙන්ටිමීටර් 75ක් පමන දිගැති තියුණු ආයුධයක් සහ නිල් පැහැති කඹයක් ද හමු වී තිබෙනවා.
ඒ අනුව පොලිසිය සැක පළ කරන්නේ අදාළ වෑන් රථය සොරා ගත් ගවයන් ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබෙන බවයි.
මේ අතර පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීම් සහ මෙහෙයුම්වලදී මහජනතාව විසින් ඊට අදාළ සහයෝගය ලබාදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.‍යූ.වුට්ලර් මහතා අප කළ විමසීමකදී සඳහන් කළා.
අද අලුයම් කාලයේ කයිට්ස් – අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය විසින් සංඥා කර තිබුනා.
කෙසේ වෙතත් එම වෑන් රථය පොලිස් අණ නොතකමින් මණ්ඩතිව් දෙසට අධික වේගයෙන් ධාවනය කර තිබෙනවා.
එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට‍යි පොලීසිය උත්සාහ දැරුවේ.
කෙසේ වෙතත් එම අනතුරු ඇඟවීමත් නොසලකා නොනවත්වා පලා ගිය වෑන් රථය නවතා ගැනීම සඳහා පොලිසිය විසින් වෑන් රථයට වෙඩි තබා ඇත්තේ ඉන් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ.
වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කල තරුණයෙක් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙලෙස පලා යෑමට තැත් කළ වෑන් රථය පිටුපස ආසන ගළවා ඉවත් කර තිබී ඇති අතර, එහි තිබී ගවයන්ගේ මලපහ, මවිල්, සෙන්ටිමීටර් 75ක් පමණ දිගැති තියුණු ආයුධයක් සහ නිල් පැහැති කඹයක් ද හමුවී තිබෙනවා.
ඒ අනුව පොලිසිය සැක පළ කරන්නේ මෙම වෑන් රථය ගවයන් ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබෙන බවයි.
සිද්ධිය වූ අවස්ථාවේ අදාල වෑන් රථයේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කයිට්ස් පොලිසිය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබනවා.
මේ අතර පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීම් සහ මෙහෙයුම්වලදී මහජනතාව විසින් ඊට අදාළ සහයෝගය ලබාදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.‍යූ.වුට්ලර් මහතා පවසනවා.
සහකාර පොලිස් අධිකාරී එෆ්.‍යූ.වුට්ලර් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීත් අදහස් පළ කළා.

Share