අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් ද්වේශසහගත ලෙස කටයුතු කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥයෙකුට වසර තුනක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
නීතිඥභාවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ද්වේශ සහගත කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම යන චෝදනාවලට වරදකරුකළ නීතිඥභාවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර කරනු ලැබුවා.
සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්රකායට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා මෙම වගඋත්තරකරුට පෙර වැරදි නොමැති බවත් දඬුවම් නියම කිරීමේදී අධිකරණය මේ සම්බන්ධයෙන් සැලකිලිමත්වන බවත් සඳහන් කළා.
ඊට අමතරව වගඋත්තරකරු තිදරු පියෙක් යන කරුණ සලකා බලා ඔහුට වසර තුනක සිරදඩුවම් නියමකරන බව සදහන් කළ විනිසුරුවරයා සඳහන් කළේ මෙම වගඋත්තරකරු රිමාන්ඩ් භාරයට පත් කල 2024 වසරේ ජූලි මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම සිරදඩුවම ක්‍රියාත්මකවන බවයි.
එසේම මෙම වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති උල්ලංඝනය කිරීම තුළින් ඔහු නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයෙන් කටයුතුකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු නීතිඥභාවයෙන් නෙරපා හරින ලෙස ද නියෝග කළා.
නඩු විභාගයක් සදහා පෙනී සිටින අතරතුරදී අධිකරණයට අපහාස කරන ආකාරයෙන් සහ නීතිඥවරයෙකුට නොගැළපෙන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම තුළින් අධිකරණය අපහාසයක් සිදුකරන ලදැයි චෝදනා කරමින් කලින් නීතිඥවරයෙකුව සිටි වගඋත්තරකාර සුසිල් ජයතුංග මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.





