ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි.
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය පළමු තරගය අයර්ලන්තය සමග ක්‍රීඩා කරනවා.
නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ දේශිය නිල විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ටීවී සුප්‍රීම් වෙතයි.
අයිසීසී T20 ලෝක කුසලානයේ පළමු තරගයේදී ම ඇමෙරිකාව සත්කාරක ඉන්දියාවට ඊයේ ප්‍රබල අභියෝගයක් එල්ල කළා.
මුම්බායි වන්කඩේ හි ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුට පහර දුන් ඉන්දියාව එක් අවස්ථාවක ලකුණු 77කට කඩුලු 6ක් දැවී ඉතා අසීරු තත්ත්වයක පසු වුණා.
නමුත් සූර්ය කුමාර් යාදව් ලකුණු 17ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව සුබම් රන්ජානේ අතින් ගිලිහී යෑම තරගය උඩුයටිකුරු කළා.
ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග හතක් ක්‍රීඩාකළ වාසන්ට් රංජානේ ගේ මුණුබුරා වන සුබම් මුම්බායි කණඩායම වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කළේ සූර්ය කුමාර්ගේ නායකත්වය යටතේ වීම විශේෂත්වයක්.
ලද දෙවැනි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් සූර්ය කුමාර් යාදව් පන්දු 49කදී ලකුණ 84ක් නොදැවී ලබා ඉන්දීය ඉනිම සවිමත් කළා.
ඊට අවසන් පන්දුවාරයේදී ලබා ගත් ලකුණු 21ක් ද ඇතුළත්.
ඒත් සමගින් ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කළා.
මොහොමඩ් සිරාජ් සමගින් අර්ෂ්දීප් සිං වන්කඩේ ක්‍රීඩාංගනයේ T20 ජාත්‍යන්තර තරගයක අඩුම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගනිමින් ඉන්දියාවේ ගෞරවය රැක ගැනීමේ සටනේ පෙරමුණ ගත්තා.
ඒ අනුව ඇමෙරිකාවට කඩුලු අටක් දැවී රැස් කර ගතහැකි වූයේ ලකුණු 132ක් පමණයි.
මේ අතර සත්කාරක ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය අද ආරම්භ කරන්නේ අයර්ලන්තයට එරෙහිවයි.
2009 -2014 කාලය තුළ අඛණ්ඩව සිව්වරක් අවසන් පූර්ව වටයට පිව්සුණු ශ්‍රී ලංකාව ඉන්පසු එකදු හෝ T20 ලෝක කුසලාන තරගාවලියක පිළිමලුන් පිටු දැකීමේ තරයකට සුදුසුකම් ලබා නැහැ.
මෙවර සම සත්කාරකයන් වුවත් එහි සැලකිය යුතු වාසියක් ශ්‍රී ලංකාවට නැත්තේ ලෝක කුසලානයට පෙර අවසන් වරට පැවති එංගලන්තය සමග තරගාවලිය ඇතුලු මෑතකදී නිමා වූ තරගාවලි රැසකම අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපොහොසත් වීම හේතුවෙන්.
නමුත් අද ප්‍රතිවාදී අයර්ලන්තය තරගාවලියට එක්වන්නේ ඉතාලියට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඩුබායි හිදී අඛණ්ඩව තරගාවලි දෙකක් ජය ගැනීමෙන් පසුවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අමතර පිතිකරුවෙක් සමග අද තරගයට ක්‍රීඩා කිරීමට තීරණය කළහොත් අවසන් 11 දෙනා අතරට පැමිණිමට ජනිත් ලියනගේට වැඩි අවස්ථාවක් තිබෙනවා.
එමෙන්ම පවන්, කුසල් ජනිත්, කමිඳු සහ අසලංක අතුරින් දෙදෙනෙක්ට පමණක් අද තරගයේදී අවස්ථාව ලැබෙනු ඇති.
T20 ලෝක කුසලානයේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අද රාත්‍රි 7ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.
මෙම ක්‍රීඩාංගනයේ අවසන් වරට T20 තරගයක් පැවැත්වුණේ 2025 ජූලි මාසයේදී වන අතර එම තරගය බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වුණා.
වලාකුළු සහිත වුවත් ප්‍රධාන වශයෙන් කොළඹට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.





