මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිත හමුදා බුද්ධි නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහිවීම හේතුවෙන් තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ වැන්දඹු බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා.
ඊයේ කැඳවූ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇය සඳහන් කළේ, ජනවාරි 16 වැනිදා එල්ල වූ මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට හා ජනාධිපතිවරයාට ද දැනුම් දී ඇතත්, මෙතෙක් තම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමති බවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිතයෙකු වන එරන්ත රදීෂ් පීරිස් නමැති හමුදා බුද්ධි නිලධාරියා හමුදා සේවයේ බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කිරීමට පසුගිය දා ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තා.
මෙරට මාධ්‍ය සමාජයේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ ද දැඩි විරෝධයට හේතුවී තිබූ එම තීරණයට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩගේ වැන්දඹු බිරිය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ, අපරාධ නඩුවක චූදියකුට උසස්වීම් පිරිනැමීමට ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශ්‍ය ගත් පියවර නීති විරීධී එකක් බවයි.
සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් රජය සහ ජනාධිපතිවරයා ලබා දුන් ප්රතිඥාවන් පිළිබඳ තමන් තැබූ විශ්වාසය මෙවැනි තීරණ හරහා බිඳ වැටෙන බවයි ඇය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබුණේ.
කෙසේ වෙතත් මෙම විරෝධතා සමග ජනාධිපතිවරයා විසින් අදාල චූදිත හමුදා නිලධාරියාට ලබාදීමට සැලසුම් කර තිබූ උසස්වීම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුනේ.
මේ සිදුවීම පිළිබඳ තමා පසුදාම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට හා ජනාධිපතිවරයාට ද දැනුම් දී ඇති බවයි ඇය කියා සිටියේ. මේ අතර පසුගිය සමයේ මෙරට මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ සියලු ආකාරයේ අපරාධවලට යුක්තිය ඉල්ලා පසුගිය දිනවල පැවති කළු ජනවාරි සැමරුම්වලදී ද මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ විමර්ශනවලට ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය සහය නොදක්වන බවට ද චෝදනා එල්ල වුණා.





