නව විගණකාධිපති රාජකාරී අරඹයි

විගණකාධිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස කටයුතු කළ එල්.එස්.පී. ජයරත්න මහත්මිය අද පෙරවරුවේ විගණකාධිපති ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
දැඩි මතභේද මැද මාස 10කට වැඩි කාලයක් පුරප්පාඩුවී පැවති මෙරට විගණාධිපති ධුරයට ජයරත්න මහත්මිය පත්වෙන්නේ, විගණාකාධිපති ධුරයට පත් 42 වැන්නා සේම එම ධුරයට පත් පළමු කාන්තාව ද බවට පත්වෙමින්.
වැඩ භාර ගැනීමේ අවස්ථාවේ රැස්ව සිටි දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස අමතමින් ජයරත්න මහත්මිය පැවසුවේ, තමන් මෙම ධුරයට නිරදේශ කළ ජනාධිපතිවරයාට සහ එම නිර්දේශය ඒකමතිකව අනුමත කළ ව්‍යවස්ථා සභාවට කෘතඥ වන බවයි.

නව විගණාධිපති එල්.එස්.පී. ජයරත්න මහත්මිය, විගණකාධිපති ධුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් අද පෙරවරුවේ විගණකාධීපති දෙපාර්තමේන්තුවේදී සංවිධානය කර තිබුණා.
ජනාධිපතිවරයා විසින් ජයරත්න මහත්මිය විගණකාධිපති ධුරයට පත්කරනු ලැබුවේ, විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම සහ පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා පත් කරන ලෙස විගණන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති අවස්ථා කිහිපයකදීම ඉල්ලා තිබියදීයි.
එසේම, එල්.එස්.පී. ජයරත්න මහත්මිය විගණකාධිපති ධුරයට පත්කරන ලෙස ජනාධිපතිවරයා පසුගිය දා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණේ, මීට පෙර අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා විසින් යොමුකළ ජයරත්න මහත්මියගේ එම නාම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබියදීයි.
කෙසේ නමුත් එල්.එස්.පී. ජයරත්න මහත්මිය නව ධුරයට පත්වීම වෙනුවෙන් විගණන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති සුබපැතුම් පළ කර තිබුණා.
වැඩ භාර ගැනීමේ අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමින් නව විගණකාධීපතිනිය සඳහන් කළේ, රාජ්‍ය විගණනයේ ප්‍රතිලාභ මෙරට මහජනයා වෙත ලබාදීම වෙනුවෙන් තම උපරිම ශක්ති ප්‍රමාණයෙන්, අප්‍රමාදව කටයුතු කරන බවයි.

Share