අම්බුළුවාව ගැන අලුත්ම තීරණය

මහජන ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ සොයා බැලීමෙන් පසු අම්බුළුවාව ගැන තීන්දුවක් ගන්නා බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ අත්තනෝමතික ලෙස ආයෝජන නැවැත්වීමට ආණ්ඩුව කිසිම අවස්ථාවක කටයුතු නොකරන බවයි.
‍‍අම්බුළුවාව පාරිසරික කලාපය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් විමසීමට කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ අදහස් පල කළා.

පරිසරවේදීන් පිරිසක් සහ ගම්පොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් කළ පැමිණිලිවලට අනුව ඊට අදාළ පාර්ශව සමග අම්බුළුවාවේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා යොදා ගෙන තිබුණා.
අමාත්‍යංශය නිවේදනය කළේ එම නිරීක්ෂණයේ දී අම්බුළුවාව පාරිසරික කලාපයට අදාළ කරුණු බොහොමයක් අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි.
දිට්වා සුළි කුණාටු තත්වයත් සමඟ අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදුකරන ඉදිකිරීම් හේතුවෙන් මතුව ඇති පාරිසරික අර්බුද පිළිබඳ අදාළ ප්‍රාදේශීය නිළධාරීන්, පරිසරවේදින්,මෙන්ම පීඩාවට ලක්වු ප්‍රදේශවාසීන්ද එහි දී කරුණු හෙළිදරව් කළා.

නිරීක්ෂණ චාරිකාව සඳහා එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් කිසිදු පාරිසරික හානියක් සිදුනොවන බවයි . අම්බුළුවාව පාරිසරික කලාපය සම්බන්ධයෙන් අඟහරුවාදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද ප්‍රශ්න කෙරුණා. දිට්වා සුළි කුණාටු තත්වයෙන් පසුව ඇතිවූ පාරිසරික බලපෑම් හා පැමිණිලි හේතුවෙන් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විටත් තාවකාලිකව අත්හිටුවා ඇති අතර යළි ඉදිකිරීම් ආරම්භ කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Share