දෙව්නි මෝරි සර්වඥ ධාතූ ප්‍රදර්ශනය හෙට සිට

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් බුදුන් වහන්සේගේ අති පූජනීය දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා අද කොළඹට වැඩම කරවීමට නියමිතයි.
මෙම සර්වඥ ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් පිට රාජ්‍යයක් වෙත ප්‍රදර්ශනයක් වෙනුවෙන් රැගෙන එන පළමු වතාව මෙයයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

න්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ මෙරටට රැගෙන එන දෙවුණිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හෙට සිට පෙබරවාරි 11 වැනිදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මේ රට සැදැහැවතුන්ට වැඳ පුදා ගත හැකි වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නැහැ.
පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී ඇත්තේ.
ඒ අනුව දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට වැඩම කරවීමට පෙර ඉන්දියාවේ දිල්ලි හිදී ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්වුණා.

වදෝද්‍රා බරෝදා හි මහරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර ඇති දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු මෙරටට වැඩමවූයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින්.
එම විශේෂ ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද පස්වරු 1ට ළඟා වීමට නියමිතයි.පූජනීය ධාතුන් වහන්සේ සමඟ ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ශ්‍රී ආචාර්යා දෙව්රත් මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති හර්ෂ් සංඝවි මහතා ඇතුළු ප්‍රමුඛ ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට වැඩම කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඉන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.
එලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩමවන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා සකස් කර ඇති විශේෂ කුටියෙහි තැන්පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමට නියමිතයි.
ඉන් අනතුරුවයි දෙව්නිමෝරී ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට පෙරවරු 6.00 සිට පෙබරවාරි 11 වැනිදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන්නේ. මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ගුජරාටයේ අරාවල්ලි දිස්ත්‍රික්කයේ ශාම්ලාජි අසල අති මහත් ඓතිහාසික සහ ආධ්‍යාත්මික වටිනාකමකින් යුත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන දෙව්නිමෝරි යන ස්ථානයෙන් සොයා ගනු ලැබුවේ 1957 වසරේදී.
මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සලකෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබඳතා පුළුල් කෙරෙන අවස්ථාවක් ලෙසයි. මේ අතර ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දැනට ධාවනය වන දුම්රියවලට අමතරව අවිස්සාවේල්ල සහ අලුත්ගම සිට පෙරවරු 7.15 ට සහ රඹුක්කන සිට පෙරවරු 6ට විශේෂ දුම්රිය ධාවනය කෙරෙනවා.
හෙට සිට ලබන 10 වැනිදා දක්වා මෙම අමතර දුම්රිය ගමන්වාර සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Share