අඛණ්ඩව 11 වැනි වරටත් t20 තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්තය 3 -0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබන්නට පල්ලෙකැලේදී ඊයේ සමත් වුණා. දෙරට අතර තෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 128කට සීමා කළ දුෂ්මන්ත චමීර ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු බළඇණිය කඩුලු 8ක් දවා ගත්තා. දුෂ්මන්ත ලකුණු 24කට කඩුලු පහක් දවා ගත්තේ සිය හොඳම පන්දු යැවීම සටහන් කරමින්. ලකුණු 60කට කඩුලු හයක් බිඳ වැටී තිබුණු එංගලන්ත ඉනිම ඔසවා තැබු සැම් කරන් ලකුණු 58යි පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් ඇද බැඳ තබා ගන්නට එංගලන්ත දඟ පන්දු යවන්නන් සමත් වුණා. ජේකොබ් බෙතල් ලකුණු 11කට කඩුලු හතරක් බිඳ දැමූ අතර විල් ජැක්ස් ලකුණු 14කට කඩුලු තුනක් බිඳ දැමුවා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19යි පන්දු තුනකදී ලකුණු 116කට සීමා වුණා. එංගලන්තය T20 තරගයක අඩුම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගනිම්න් ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලබා ගත්තේ දින තුනකින් ඇරඹෙන ලෝක කුසලානයට මනා සූදානමක් ඇති කරගනිමින්.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් සෙනසුරාදා ආරම්භ වන T20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර කවුළුව අද සිට කොළඹ සීසීසී පිටියේ ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. එම කවුළුව විවෘත වන්නේ පස්වරු 1 සිටයි. මෙම ප්‍රවේශපත්‍ර කවුළුව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ අතර ක්‍රීඩාලෝලීන්ගේ එතරම් උනන්දුවක් දක්නට ලැබුණේ නැහැ.
T20 ලෝක කුසලානයේ ඊයේ පැවති පුහුණු තරගයකදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම පරාජය කරමින් කඩුලු පහක ජයක් ලැබීමට ඕමානය සමත් වුණා. සීසීසී පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 145ක් රැස් කළා. ඕමානය පන්දු වාර 18ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී තරගය ජය ගත්තා.
ICC අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සමත් වුණා. එංගලන්තය පළමුව පන්දුවට පහර දී කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කළා.
ඔස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි. ඒ අනුව වත්මන් ලෝක ශුර ඔස්ට්‍රේලියාව ලකුණු 27කින් පරාජය කළ එංගලන්තය ඇෆ්ගනිස්තානය හෝ ඉන්දියාව සමග සිකුරාදා අවසන් තරගය ක්‍රීඩා කරනු ඇති.





