කස්සප හිමියන් සහ පූජ්‍ය කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කරයි

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් ගොනු කළ පෙත්සම් අභියාචනාධිකරණය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා.
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කළ නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටින පූජ්‍ය බලං‌ගාඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් මෙම රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
රිට් පෙත්සම මගින් පෙන්වා දී තිබුණේ වෙරළ සංරක්ෂණ පනත යටතේ තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණය හමුවේ නොමැති බවයි.
එසේ තිබියදී තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය නීතියට පටහැනි බවත් අදාළ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණා.
ඊට අමතරව එම පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හැරෙන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් උන්වහන්සේ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුලක් හමුවේ සලකා බැලූ අදාළ පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද ප්‍රකාශයට පත් කළා.
පෙත්සම්කරු ඉල්ලා සිටින සහන ලබා ගැනීමට විකල්ප අධිකරණමය ක්‍රියාමාර්ග තිබියදී පෙත්සම්කරුවන්ට මෙවැනි සහන අපේක්ෂා කළ නොහැකි බව තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නා.
ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු පහළ අධිකරණ වලට පුළුල් බලයක් පවතින බවත් පහළ අධිකරණවල කටයුතුවලට මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසී නිකුත් කිරීම තම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන බව පැවසූ විනිසුරුවරයා පෙත්සම නිෂ්ප්‍රභ කළා.

Share