පසුගිය 26 වැනිදා ආරම්භ කළ මාරාන්තික උපවාසයේ අද 8 වැනි දිනයයි

තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක නිරතව සිටිනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඔවුන් ආරම්භ කළ උපවාසයේ අද 8 වැනි දිනයයි.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන පාසල් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා උපවාසයක් ආරම්භ කලේ පසුගිය 26 වැනිදායි.
අට වන දිනටත් ක්‍රියාත්මක මෙම උපවාසකරුවන්ගේ සුවදුක් විමසීම සදහා අදත් දේශපාලනඥයින් එහි පැමිණියා.

මේ අතර උපවාසයට සහය පල කරමින් අද පෙවරුවේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද ආරම්භ වුණා. අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් මෙලෙස උද්ඝෝෂණයක් කැඳවා තිබුණේ ජනාධිපතිවරයා විසින් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදී ඇති පසුබිමකයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණා.

Share