2020 වසරේ කැඳවනු ලැබූ අයදුම්පත්රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම් අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 145 දෙනෙක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය මත අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කළා.
2020 වසරේ ජනවාරි මස 31 වනදා සහකාර පොලිස් අධිකාරි ධූරයට උසස් කිරීම් සඳහා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව අයදුම් පත්‍ර කැඳවා තිබෙනවා.
පසුව රාජ්‍ය සේවා කොමිසම විසින් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ උසස්වීම් පිරිනැමූ බවත් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට එම උසස් වීම් නොලැබුණු බවත් චෝදනා කරමින් පෙත්සම් ගොනු කෙරුණා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් ලබාගත් ලකුණු නිවැරදි නොවන බවට රාජ්‍ය සේවා කොමිසම විසින් පිළිගෙන, පසුව යළි ලකුණු වෙනස් කළ බවයි.
ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවූ බවත් ඊට අමතරව තමන්ට තවත් අසාධාරණ ක්‍රියා රැසක් සිදුව ඇති බවත් සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් ලබාගත් ලකුණු සටහන් කැඳවා කරුණු සොයා බැලූ අතර අදාළ ලකුණු වෙනස් කළ බවට පැවසෙන රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා විසින්ද එසේ සිදුකිරීමට අදාළ කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ කරුණු සම්බන්ධයෙන් අධිකරණය සෑහීමකට පත්වන බවත් එම ක්‍රියාවලිය නීත්‍යානුකූල බව අධිකරණය පිළිගන්නා බවත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සඳහන් කළා.
ඒ අනුව පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන තර්ක වල කිසිදු නීතිමය වටිනාකමක් නොමැති බවත් ඔවුන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇති බවත් අදාළ තීන්දුවේ සඳහන්.
ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ප්රදානය කිරීමට සාධාරණ හේතු නොමැති බැවින් අදාළ පෙත්සම් ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.





