පියතුමන්ට පහරදුන් අයට ඇප

මිලාන් ප්‍රියදර්ශන ප්‍රනාන්දු කතෝලික පියතුමාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරින් 6 දෙනා අධිකරණයට ඉදරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරුණා. ඊට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය හමුවේ අද කැඳවූ අතර සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ.

මිලාන් ප්‍රියදර්ශන ප්‍රනාන්දු කතෝලික පියතුමාට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූවා. ඒ අනුව සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් කර සිටි අතර ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කෙරුණා. පහරකෑමට ලක්වූ පියතුමා විසින් එහිදී තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කෙසේවෙතත් පහරදීමේ සිද්ධියට අදාළව අදාළ පොලිස් නිලධාරීන් 6 දෙනා, එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් සීලනි පෙරේරා මහත්මිය නියෝග කළා. සැකකාර පොලිස් නිලධාරින්ගේ වැඩතහනම තවදුරටත් ක්‍රියාත්මක අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළ බවයි ටී.වී. සුප්‍රීම් නිව්ස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. වැඩිදුර විභාගය සඳහා අදාළ නඩුව යළි අප්‍රේල් මස 30 වැනිදා කැඳවීමට නියමිතයි.

දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව අවසන් කරමින් නැවත එමින් සිටින අතරතුරදී කොළඹ අගරදගුරු පදවියේ කතෝලික සභා නිකායක් මගින් පාලනය කෙරෙන කොටදෙණියාවේ පිහිටි ගොවිපොලක වතු සහයක පරිපාලක ලෙස කටයුතු කරන මිලාන් ප්‍රියදර්ශන ප්‍රනාන්දු පියතුමා පොලිස් පහර කෑමකට ලක්ව තිබු‍ණේ පසුගිය 24 වැනිදා රාත්‍රී 7ට පමණ.

පියතුමා විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදිය නවැත්වීමෙන් අනතුරුව පොලිසිය සමග සිදුවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පහර දීම සිදුවූ බවයි වාර්තාවුණේ.

Share