වෙනසක් නැති IMF ගිවිසුම

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ 06 වැනි වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා මේ වසරේ මාර්තු මාසය වන විට යළි ආරම්භ කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසනවා. ශ්‍රී ලංකා⁣වේ සංචාරය කළ මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සිය නිරීක්ෂන සහ සාකච්ඡා අවසන් කිරිමෙන් පසු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඒ බව සඳහන්.

පසුගිය 22 වන ද මෙරටට පැමිණි අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ප්‍රදේශ රැසකම සංචාරය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය නිරීක්ෂනය කර , එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු වී සාකච්ඡා කර තිබෙනවා. නියෝජිත කණ්ඩායම අද පෙරවරුවේ
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නිලධාරීන් හමු වුණා.

මෙම හමුවේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටද ජනාධිපතිවරයා එකඟතාව පල කර තිබෙනවා. මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී සිදු වූ මෙම ව්‍යසනය සහ ඒ හමුවේ මුහුණ දීමට සිදු වූ මේ පීඩාකාරී තත්ත්වය පිළිබඳ සිය කණගාටුව ශ්‍රි ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස විසින් පල කරනු ලැබුවා. ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ ජන ජීවිතය යළි ගොඩනැංවීමට රජය ගත් කඩිනම් පියවර මෙහි දී ඇගයීමට ලක් වුණා. දරුණු ආපදා තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව මේ වන විට නිසි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව මෙහි දි මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සදහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ 06 වන වාරිකය ලබා දීම පිළිබඳ සාකච්ඡා මෙම මාර්තු මාසය වන විට යළි ආරම්භ කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් එහිදී දැනුම් දුන්නා. ග්‍රාමීය ජන ජීවිතය ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාමාර්ග යළි සකස් කර දීම වෙනුවෙන් රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනය වෙන් කර ඇති බවත් එය කිසිසේත් නිසි මූල්‍ය කළමනාකරණයෙන් බැහැර වී වගකීම් විරහිත ක්‍රමවේදයකට අවතීර්ණ වීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරෙන ආර්ථික ජයග්‍රහණ සැබෑ ලෙසම සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය දැනට පවතින නොවෙනස්ව පවත්වාගෙන යෑමට ඊයේ රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Share