හෙට සිට දීපව්‍යාප්තව අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තිරණය කර තිබෙනවා. ඒ අනුව උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ක්‍රියාත්මක කෙරෙන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවා.
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සිකුරාදා පෙරවරු 8 සිටි පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වුණා.
නමුත් සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බව පවසන වෛද්‍යවරු හෙට සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මහනුවර දී වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් ඉටු කිරීම ඉතා අසීරු බවයි.





