රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති පැය 48ක සංකේත වැඩ වර්ජනය හෙට උදෑසන 8න් අවසන් කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.
සංකේත වැඩ වර්ජනය එලෙස අවසන් වූවත් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළා.
නමුත් එම ක්‍රියාමාර්ග මොනවා දැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිළි කළේ නැහැ.
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලුවලට විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ඊයේ ආරම්භ කළා.
ඊයේ දිනට සාපේක්ෂව ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල්වලට පැමිණි ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණත් සේවා ඉටුකරගැනීමට නොහැකි වූ ඇතැම් රෝගීන් ආපසු පිටව ගියේ දැඩි කනස්සල්ලකින්.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහලේ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ.
මෙම සංකේත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව අද පස්වරුවේ රැස්වුණා. වර්ජනය හෙට උදෑසන 8ට අවසන් වූවත් සිය ඉල්ලීම් දිනාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.





