කුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය දැනට විදෙස් රටක සැඟව සිටින දෙහිබාලේට අයත් බවට සැකකරන බව පොලිස් විමර්ශන නිලධාරීන් පවසනවා.
මෙම බහුදින ධීවර යාත්‍රා දෙකේ සිටි ස්කීපර්වරුන් දෙදෙනා ඇතුලුව සැකකරුවන් 11 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම යාත්‍රා සහ ධීවරයින් ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම යාත්‍රාවේ තිබී හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200කට ආසන්න තොගයක් සහ සංනිවේදන උපකරණ තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පසුව එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් කළ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවා.
එම යාත්‍රාවේ ද තිබී හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 70කට ආසන්න තොගයක් සහ සැටලයිට් දුරකථන දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් කළ මුලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මේ වන විට විදේශ රටක සැගව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාම් කරුවෙකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 21 වන දිනද දෙහිබාලේට අයත් බව කියන මත්ද්‍රව්‍ය තොගයක් දකුණු මුහුදේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව කළ මෙහෙයුමක දී සෙයා ගැණුනා.





