T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට නොයෑමේ තීරණයේ වෙනසක් නැතැයි බංග්ලාදේශය පවසනවා.
සිය අවසන් තීරණය දැනුම්දීම සඳහා ICCය විසින් බංග්ලාදේශයට පැය 24ක කාලයක් ලබාදී තිබුණා.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB), බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ රජයේ ක්‍රීඩා උපදේශකවරයා අතර ඩකා හි අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
බංග්ලාදේශය තම T20 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉල්ලා සිටින අතර, එම ඉල්ලීමම නැවතත් ICCය වෙත දැනුම්දී ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් මහතා පවසා ඇත්තේ, ICCය විසින් පැය 24ක කාල සීමාවක් දී ඇති බවට තමන්ට දැනුම් දුන් නමුත්, එවැනි අවසාන කාල සීමා නිකුත් කිරීම ගෝලීය ක්‍රීඩා ආයතනයකට නොගැළපෙන ක්‍රියාවක් බවයි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ සිය සැලසුම නැවතත් ICCය වෙත ඉදිරිපත් කරන බව ඔහු එහිදී පැවසුවා.
බංග්ලාදේශය ඉවත් වුණොත් ලෝක කුසලාන නැරඹීමට සිටින මිලියන 200කට අධික ජනතාවක් ICCට අහිමි වනු ඇතැයි පවසන අමිනුල් ඒක ICCට පාඩුවක් බව සඳහන් කළා.
මේ අතර බංග්ලාදේශ රජයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට බංග්ලාදේශයට අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ඊයේ පැවති ICC විධායක මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුණෙ බංග්ලාදේශය ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ඉවත් කර වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමටයි.
එසේ වුවහොත් ස්කොට්ලන්තයට බොහෝ දුරට ලෝක කුසලාන වරම් හිමිවනු ඇති.





