කප් එක ඉස්සූ ජනපති

ICC t20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ සංචාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. රට පුරා ලෝක කුසලානය රැගෙන යන සංචාරයේ සියලු තොරතුරු ටීවී සුප්‍රීම් ඔස්සේ ගෙන ඒමට අපි සූදානම්. මෙවර t20 ලෝක කුසලානයේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ද ටීවී සුප්‍රීම් වෙතයි. 2026 ICC T20 ලෝක කුසලානයේ ලෝක සංචාරය පසුගිය 16 වැනිදා ආරම්භ වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන ඓතිහාසික ආදම්ගේ පාලම මතින්.
රාම් සේතු හෙවත් රාමාගේ පාළම ලෙසද සැලකෙන මෙම වැලිපර සංස්කෘතික වශයෙන් ගෞරවයට පාත්‍ර වන අතර, සමසත්කාරක රටවල් දෙක වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන සංකේතාත්මක දොරටුවක් ලෙසත් මෙය සැලකෙනවා. එලෙස ඇරඹී ලොව වටා සංචාරයේ කොටසක් ලෙසයි ශ්‍රී ලංකා අදියර අද ආරම්භ වුණේ.අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංචාරය නිල වශයෙන් ආරම්භ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු එක්දින තරගය ආරම්භයට පෙර ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායමක් කුසලානය රැගෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ගොඩබසිනවා.

කුසලානය පළමුවරට ක්‍රීඩාලෝලීන්ට දැක ගන්නට ලැබෙන්නේ හෙට මෙහිදීයි. පස්වරු 1 වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමි⁣ණෙන ඔබට t20 ලෝක කුසලානය සමග පැරෂුට් භටයින් ක්‍රීඩාංගණයට ගොඩබසින මෙම සුවිශේෂි අවස්ථාව සජීවීව නරඹන්නට අවස්ථාව හිමිවනවා.තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ප්‍රේක්ශකයින්ට කුසලානය සමඟ ඡායාරූප ලබා ගැනීමටද මෙහිදී අවස්ථාවක් හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවා.

කොළඹට අමතරව, ICC T20 ලෝක කුසලානය, මහනුවර, මාතලේ, දඹුල්ල, අනුරාධපුරය, වවුනියාව කිලිනොච්චිය සහ යාපනය ඇතුළු ප්‍රධාන නගර වෙත ද ඉදිරි දිනවල ගමන් කිරීමටද නියමිතයි.

t20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි මස 07 වැනිදා සිට මාර්තු මස 08 වැනිදා දක්වා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන්.

මේ අතර බංග්ලාදේශය 2026 T20 ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සමඟ ඇති වී ඇති අවුල්සහගත තත්ත්වය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ICC විධායක මණ්ඩලය අද රැස් වුණා.
මෙම රැස්වීමට සියලුම පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන් සහභාගී වී තිබෙනවා.
ඊට අමතර මෙම රැස්වීමට ICC කළමනාකාරිත්වයේ ඉහළ නිලධාරීන් වන ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා, ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා සහ අයිසීසී ඉසව් සාමාන්‍යාධිකාරී ගෞරව් සක්සේනා ද සාකච්ඡාවට එක්වුණා.‍
2026 T20 ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය තම තරඟ ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන් තරඟාවලියෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමක් ඇතුළත් කරන බව බංග්ලාදේශ රජයට දැනුම් දෙන්නැයි අයිසීසීය මෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
එම තීරණය සම්බන්ධයෙන් පැවති ඡන්දයේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 16ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද දෙකක් පමණයි.
ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ අවසන් ස්ථාවරය දැනුම් දීමට බංග්ලාදේශයට පැය 24ක කාලයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ දී C කාණ්ඩයේ බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තයට අවස්ථාව හිමිවනු ඇති.

Share