ජනපති ට්‍රම්ප්ගේ අලුත් සිතියම

ග්‍රීන්ලන්තය සහ කැනඩාව එක්සත් ජනපදයේ කොටසක් ලෙස වර්ණ ගැන්වූ නව සිතියමක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ අද ප්‍රසිද්ධ කළා.
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සූදානමට යුරෝපා රටවල නායකයින්ගෙන් සහ ග්‍රීන්ලන්ත සහ ඩෙන්මාර්ක් වැසියන්ගෙන් එල්ල වී ඇති විරෝධතා මධ්‍යයේ එළි දක්වා ඇති ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම නව සිතියම යුරෝපා රටවල විමතියටත් කනස්සල්ලටත් හේතු වී තිබෙනවා. ‍

මේ එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් ගිණුමට එක් කර තිබූ නව සිතියමයි.
ට්‍රම්ප් ඕවල් කාර්යාලයේ වාඩි වී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි, එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් සමග නව සිතියම හෙවත් නව ලෝක පිළිවෙළ සාකච්ඡා කරන ආකාරයක් ට්‍රම්ප් පළ කර ඇති එක් ඡායාරූපයකින් නිරෑපණය කෙරෙනවා.
එක්සත් ජනපද ජනාධිපතිවරයා පළකළ තවත් සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ ට්‍රම්ප් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සමඟ ග්‍රීන්ලන්තයේ ඇමරිකානු ධජය ඔසවමින් සිටින ආකාරයයි.
ඒ් අසල ග්‍රීන්ලන්තය, එක්සත් ජනපද භූමිය, යනුවෙන් සඳහන් පුවරුවක් ද දැක්වෙනවා.
‘ජාතික ආරක්ෂාව’ උපුටා දක්වමින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා දරන උත්සාහයට එරෙහිව ග්‍රීන්ලන්ත සහ ඩෙන්මාර්ක් වැසියන් මෙන්ම යුරෝපා නායකයින්ගේ ද විරෝධය එල්ල වී තිබියදී එළි දක්වා ඇති ට්‍රම්ප්ගේ මෙම සිහින සිතියම්, ග්‍රීන්ලන්ත භූමිය පුරා යුද ආතතිය ඉහළ දමා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ
ඒ් සමගම තවත් සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් පවසන්නේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ ඉතා හොඳ දුරකථන සංවාදයක් පැවැත්වූ බවයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි දී යුරෝපා නායකයින් හමුවීමට තමා එකඟ වූ බවත් ආපසු යා නොහැකි බවට ඔවුන් සියලු දෙනා එකඟ බවත් ඔහු පවසනවා.
මේ අතර ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට අනතුරු අඟවනවා.
ගෝලීය ගැටුම් විසඳීම අරමුණු කරගත් ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට එක්වීම ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරුබදු තර්ජනය එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
මැක්‍රොන්ගෙන් තමාට ලැබුණු පෞද්ගලික පණිවිඩයක් ද සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රසිද්ධ කරන එක්සත් ජනපද ජනාධිපතිවරයා, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය මැක්‍රොන් තේරුම්ගෙන නැති බව ද පවසනවා.
“ ඩාවෝස් සමුළුවෙන් පසු බ්‍රහස්පතින්දා දහවල් පැරිසියේදී මට G7 රැස්වීමක් සංවිධානය කළ හැකියි, අපි සිරියාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම පෙළ ගැසී සිටිමු. අපට ඉරානයේ විශිෂ්ට දේවල් කළ හැකියි . ඔබ ග්‍රීන්ලන්තයේ කරන්නේ කුමක්දැයි මට තේරෙන්නේ නැහැ ” මැක්‍රොන් ජනාධිපති ට්‍රම්ප්ට යැවූ පණිවිඩයේ සඳහන්ව තිබෙනවා.

Share