සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3 බැගින් සමන්විත එක්දින හා t20 තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වනවා.
තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට එක් වුණා.
දෙරට අතර එක්දින තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර t20 තරගාවලිය මේ මස 30 වැනිදා සිට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර මෑතකදී පැවති අළු බඳුන තරගාවලියේදී සහ නවසීලන්ත සංචාරය අතරතුර ඇති වූ විනය ගැටළු හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර මධ්‍යම රාත්‍රියේ ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ක්‍රීඩකයින් සෑම දිනකම මධ්‍යම රාත්‍රී 12.00 වන විට කණ්ඩායම රැඳී සිටින හෝටලයට ආපසු පැමිණිය යුතුව ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළා.
ඩේලි මේල් වාර්තාවට අනුව මේ සම්බන්ධයෙන් විධිමත් ආචාර ධර්ම පද්ධතියක් නිකුත් නොකෙරෙනු ඇති.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස ඔවුන්ගේ වගකීම් පිළිබඳව සංචිතයට මතක් කරදීමක් ලෙසත්, විනය සහ අවධානය පවත්වා ගැනීමට එංගලන්ත කළමනාකාරිත්වය දරන උත්සාහයේ කොටසක් ලෙසත් මෙම තීරණය ගෙන ඇති බව වෙබ් අඩවි වාර්තාවේ සඳහන්.





