කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ මෙම ඝාතනය විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනි රිමෝෂන් නැමැත්තා මෙහෙයවා ඇති බවයි.
මේ අතර අලව්ව විල්ගමුව මොරවලපිටිය ප්‍රදේශයේ දී යතුරුපැදිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අලව්ව විල්ගමුව මොරවලපිටිය මාර්ගයේ ගොඩාකූරුව ප්‍රදේශයේ මාර්ගය අසල පුද්ගලයෙකු යතුරුපැදියක් සමග වැටී සිටින බවට ලද තොරතුරක් මත අලව්ව පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ රාත්‍රී විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන පොල්ගහවෙල මහෙස්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍යවරයා ද එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා.
එහි දී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා මියගොස් ඇති බවයි.
එම වෙඩි තැබිම ඊයේ රාත්‍රි 11ට පමණ සිදුව ඇතැයි පොලිසිය සැකකරනවා.
වෙඩිතබා ඝාතනය කර ඇත්තේ නාරම්මල මැටියගනේ පදිංචිව සිටි කවිඳු නිමේෂ් සත්සර නැමැති අවුරුදු 28 හැවිරිදි තරුණයෙක්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 02ක් විමර්ශන සිදු කරන බව අලව්ව පොලිසිය සදහන් කළා.
වසරේ පළමු දින 18 තුළ වෙඩි තැබීමේ සිද්ධීන් හතරක් වාර්තාවන අතර ඉන් පුද්ගලයින් සිව්දෙනෙක් මිය ගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව දරුවන් දෙදෙනෙක් තුවාල ලැබුවා.
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ එල්. ඒ. ජේ. නසරේන් නොහොත් කොන්ස්ටන් නැමැත්තායි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන පූකුඩු කන්නාගේ පාර්ශ්වය සමග සමීප සබඳතා පවත්වා ඇති අතර මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක නිරත වූ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් එකතු කිරීමේ ද නිරතව සිටි අයෙක් බව පොලිස් විමර්ශනවලදී හෙලි වි තිබෙනවා.
ඝාතනය වූ කොනිස්ටන්ගේ බිරිඳ දැනට විදේශයකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පලනි රිමෝෂන්ගේ පුංචි අම්මා සමග ඇති කර ගත් ආරවුලකට පලි ගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම කර ඇතැයි පොලිසිය සැකකරනවා.
මෙම ඝාතන සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ ඔවුන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මේ අතර මරදාන පට්ටියාවත්ත ප්‍රදේශයේදී දකුණු කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සිදු කළ වැටලිමක දී රිවෝල්වර් අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ජීව පතරොම් තොගයක් තවත් පුද්ගලයෙකුට ලබා දුන් බව අනාවරණ කර ගැනීමෙන් පසු මිලි මීටර් 9 වර්ගයේ ජීව පතරොම් 75ක් හා T56 ජීව පතරොම් 45ක් සමග තවත් සැකකරුවෙකු ද කොළඹ 10 ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් කළ හදිසි සෝදිසි කිරිමක දී හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ K වාට්ටුවේ තිබී ස්මාර්ට් ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන තිබෙනවා.
හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු, එස්.එම් රංජිත් මෙන්ම දුමින්ද සිල්වා රඳවා සිටින්නේ එම වාට්ටුවේ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා පැවසුවා.





