හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නන්දන ගුණතිලක මහතා අද අලුයම අභාවප්‍රාප්ත වුණා.
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඒ මහතා 63 වන වියෙහි පසුවුනා.
1988 -89 මර්ධනයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ යළි නැගීටිම සඳහා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ නන්දන ගුණතිලක මහතා පසුව එක්සත් ජාතික පක්ෂයෙන් පානදුර නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළා.
නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් පූර්ණ කාලීන දේශපාලනයට පිවිසෙන්නේ සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද කැප කරමින්.
කලක් තහනමට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ යළි ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට ගෙන ඒම සඳහා සුවිශේෂි කාර්ය භාරයක් කළ නන්දන ගුණතිලක මහතා 1999 වසරේදී එම පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත් වුණා.
එම වසරේදී පැවති ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වන නන්දන ගුණතිලක මහතා තෙවැනි ස්ථානයට පත් වුණේ ඡන්ද 344,173ක් ලබා ගනිමින්.
2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඒ මහතා 2004 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමඛ වාමාංශික බලවේග හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක නිරත වුණා.
එහි ආරම්භක සභාපතිවරයාද වන නන්දන ගුණතිලක මහතා එම සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් ව කලක් සංචාරක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.
2008 වසරේ ජාතික නිදහස් පෙරමුණ හා සම්බන්ධ වන නන්දන ගුණතිලක මහතා එම පක්ෂයේ පළමු මහ ලේකම්වරයායි.
පසු කලෙක එක්සත් ජාතික පක්ෂය හා එක්වූ නන්දන ගුණතිලක මහතා එම පක්ෂයෙන් තරග කර පානදුර නගරාධිපතිවරයා ලෙස ද තේරී පත්වුණා.
අසනීප තත්ත්වයෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණු ඒ මහතා පසුව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කර යැවුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අලුයම දිවියෙන් සමුගත්තා
ජීවිතයෙන් සමුගත් නන්දන ගුණතිලක මහතාගේ දේහය හෙට පෙරවරු 9 සිට මහජන ගෞරවය සඳහා පානදුර නගර ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.
අනතුරුව පස්වරු 2ට දේහය වාද්දුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කෙරෙනු ඇති
ලබන අඟහරුවාදා දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන්නේ වාද්දුව මහජන ක්‍රීඩාංගනයේදී.
මේ අතර, නන්දන ගුණතිලක මහතාගේ අභාවය සම්බන්ධයෙන් ලාල් කාන්ත අමාත්‍යවරයා තැබූ ෆේස්බුක් සටහනක් තබමින් පැවසුවේ නන්දන ගුණතිලක පක්ෂය ගොඩනැගීමට මෙන්ම පක්ෂය විනාශ කිරීමට ද එක ලෙස කැපවූ අයෙක් බවයි.
උපුටා ගැනීම…
මට ඔහු බිංදුවයි.,
නන්දන ගුණතිලක
අපේ පක්ෂය ගොඩගන්න
කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට දේශපාලන ළකුණු 10 ක් දෙමි.
නන්දන ගුණතිලක
පක්ෂය විනාශ කිරීමට
කැපකිරීම් කළ මිනිසෙකි.
එයට මම ඔහුට ඍණ ළකුණු 10 ක් දෙමි.
10-10 = 0
උපුටා ගැනීම අවසන්.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ “නන්දන ගුණතිලක සහෝදරයාණෙනි, අප එක්ව ඇරඹූ ගමනක් විය. පසුව කුමක් වුවත් වඩාත් යහපත් හෙට දිනයක් රටට උරුම කර දීම වෙනුවෙන් ඔබ එදා පෙන් වූ කැපවීම හා ධෛර්ය සුළු පටු නැත.” ලෙසයි.





