කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ මෙම ඝාතනය විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනි රිමෝෂන් නැමැත්තා මෙහෙයවා ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු වන පූකුඩු කන්නාගේ පාර්ශ්වය සමග සමීප සබඳතා පැවැත්වූ අයෙක් බවට ද පොලිසිය හඳුනා ගෙන තිබෙනවා.
කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව දරුවන් දෙදෙනෙක් තුවාල ලැබුවා.
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ එල්. ඒ. ජේ. නසරේන් නොහොත් කොන්ස්ටන් නැමැත්තායි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන පූකුඩු කන්නාගේ පාර්ශ්වය සමග සමීප සබඳතා පවත්වා ඇති අතර මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක නිරත වූ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් එකතු කිරීමේ ද නිරතව සිටි අයෙක් බව පොලිස් විමර්ශනවලදී හෙලි වි තිබෙනවා.
ඝාතනය වූ කොනිස්ටන්ගේ බිරිඳ දැනට විදේශයකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පලනි රිමෝෂන්ගේ පුංචි අම්මා සමග ඇති කර ගත් ආරවුලකට පලි ගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම කර ඇතැයි පොලිසිය සැකකරනවා.
මෙම ඝාතන සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.





