නැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති බවට චෝදනා

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව චෝදනා කරනවා.
දිගින් දිගටම වන අලි දුම්රියේ ගැටීම හේතුවෙන් මේ වන විට රාත්‍රි කාලයේදී කිසිදු දුම්රියක් මෙම මාර්ගයේ ධාවනය නොවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් සිය රාජකාරි කටයුතු කර ගැනීම සඳහා කොළඹ බලා පැමිණෙන ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මින් පෙර රාත්‍රි තැපැල් දුම්රිය දෙකක් ගල්ඔය දුම්රිය ස්ථානය හරහා ගමන් කළද වන අලින් දුම්රියේ ගැටී සිදුවන අනතුරු හේතුවෙන් රාත්‍රි දුම්රිය ගමනාගමනය නතර කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අනතුරුව පැමිණි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලැල්ල අතර ප්‍රදේශයෙන් මාර්ගයට දැඩි හානි සිදුවීම නිසා නැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මුළුමනින්ම නවතා දැමීමට සිදුවුණා.
කෙසේ වෙතත් එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිමකර නැවත දුම්රිය ධාවනය කෙරුන ද මේ වන විට එය සිදුවන්නේ දහවල් කාලයේ පමණක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මේ හේතුවෙන් රාත්‍රී කාලයේ නැගෙනහිර මාර්ගයේ දුම්රිය භාවිත කර රාජකාරී කටයුතු කර ගැනීමට කොළඹට පැමිනෙණ ජනතාව නොයෙකුත් අපහසුතාවයන්ට ලක්වන බව ඔවුන් පවසනවා.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් අප කළ විමසීමකදී ඔවුන් පෙන්වා දුන්නේ දිට්වා සුලිකුනාටුව හේතුවෙන් මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලැල්ල අතර ප්‍රදේශයෙන් මාර්ගයට දැඩි හානි සිදුවීම නිසා එම කොටසේ දුම්රිය ගමනා ගමන කටයුතු මුළුමනින්ම නවතා දමුනු බවයි.
කෙසේ වෙතත් එම කොටසේ දුම්රිය ගමනාගමන කටයුතු පසුගිය මාසය වන විට නැවතත් ආරම්භ කර ඇති පසු බිමක තවමත් නැගෙනහිර මාර්ගයේ රාත්‍රී දුම්රිය ගමනා ගමනය නවතා දමා තිබෙනවා
මෙලෙස නැගෙනහිර මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය භාවිතා කරන විශාල පිරිසක් මේ වන විටත් එම මාර්ගය දුම්රිය ගමනාගමන කටයුතු සිදු නොවන නිසා වෙනත් විකල්ප ප්‍රවාහන සේවා භාවිතා කිරීම මත දුම්රියෙන් දෛනික කටයුතු සිදු කරගත් ජනතාව දුම්රියෙන් ඈත් වී ඇති බවයි ඇතැම් මගින් පෙන්වා දෙන්නේ
කෙසේවෙතත් ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර පළාතට වෙනදා මෙන් ධාවනය වුණු දුම්රිය රාත්‍රී තැපැල් දුම්රිය සමග සුපුරුදු පරිදි ධාවන කටයුතුවලට යොදවන ලෙසයි.

Share