කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ලබාදුන් ශක්තියට කෘතගුණ සළකමින් ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් දිනය සමරනවා. තෛපොංගල් දිනයට සුබ පැතුම් එක්කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය අපගේ ජීවිතවලටත්, සමාජයටත් මහඟු අරුතක් එක් කරන බවයි.
හින්දු දින දර්ශකයෙහි අවුරුද්දේ මුල් මාසය හඳුන්වන්නේ, ”තෛ” යනුවෙන්. පොංගල් යන්නෙන් ‘උදාවීම’ යන අරුත් ගැන්වෙනවා. ඒ අනුව, තෛපොංගල් යනු නව වසරේ උදාවයි. තම වගාවෙන් නෙළාගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ සුවිශේෂී කාර්යයක්. වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඬක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර අතර වනවා.





