විමල්ගේ සත්‍යග්‍රහය අවසන්

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම සහ හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීම යන ඉල්ලීම් මුල් කරගෙන ඉසුරුපාය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වරුවේ නතර කෙරුණා.
සත්‍යග්‍රහය අවසන් කරමින් දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කළහොත් ඉදිරියේ දී එල්ල වන විරෝධතා වඩාත් පුලුල් වනු ඇති බවයි.

විමල් වීරවංශ මහතා කැඳවුම්කරු ලෙස කටයුතු කරන “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය ඊයේ පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා ලෙස සහ හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින්.
ඊයේ රාත්‍රී 12ට පමණ සත්‍යග්‍රහය පැවැත්වුණු ස්ථානයෙන් නැගිට ගිය විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ යළි සත්‍යග්‍රහයට එක්වුණා. සත්‍යග්‍රහයට සහය පළ කරමින් පාර්ශ්ව රැසක් එක්ව සිටිය අතර ඔවුන් ඉල්ලා සිටියේ හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසටයි. මේ අතර සත්‍යග්‍රහයට විරෝධය පල කළ පිරිසක් ද අද පස්වරුවේ එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

කෙසේවෙතත් හය ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමේ තීරණය වාර්තා වීමත් සමග විමල් වීරවංශ මහතා සත්‍යග්‍රහය නතර කළා.
නමුත් පළමුවැනි ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කළ ආකාරයට මේ වසරේ දී ක්‍රියාත්මක වන අතර සත්‍යග්‍රහයේ නිරත වූ විමල් වීරවංශ මහතාගේ ප්‍රමුඛ ඉල්ලීමක් වූ හරිනි අමරසූරිය මෙනවිය ධුරයෙන් ඉවත් වූයේ ද නැහැ. මේ අතර සත්‍යග්‍රහය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

Share