අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් යයි

දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් පළමුවැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

මෙරට අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් අපේක්ෂා කරමින් ජාතික ජන බලවේග රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.
ඒ අනුව මේ වසරේ සිට එක සහ හය ශ්‍රේණිවලට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ද නියමිතව තිබුණා.
කෙසේ වෙතත් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුලුල් විරෝධයක් එල්ල වුණේ ඒ සඳහා ප්‍රමාණවත් විශේෂඥ සහයක් සහයක් සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කාලයක් නොලැබුණු බවට වන චෝදනා ද සමගයි.
එම තත්ත්වය තවදුරටත් තීව්‍ර වුණේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයක ඇතුළත්ව තිබූ වෙබ් සබැඳියක් ඇති කළ ආන්දෝලනය හේතුවෙන්.
මෙලෙස විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ විවේචන සහ විරෝධතා හමුවේ, ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කළේ ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීම වෙනුවෙන් රජය සාකච්ඡාවට විවෘත වුවත්, කිසිසේත්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා නොගන්නා බවයි.
ඒ අනුව මොඩියුලයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කෙරුණු අතර අධ්‍යාපන අමාත්‍යංශය අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කළා.
එවන් පසුබිමක ලබන 21 වැනිදා සිට 6 ශ්‍රේණිය සහ 29 වැනිදා සිට 1 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සංශෝධිත විෂයමාලා විධිමත් ඉගැන්වීම් ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී නිවේදනය කෙරුණේ හය ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දමන බවයි.

මේ අතර අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අද කැඳවා තිබුණා.
සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී. කෙසේ වෙතත් ආණ්ඩුවට හිතවාදී වෘත්තීය සමිතිවලට පමණක් ඊට ආරාධනා කර තිබූ බවට ද තවත් වෘත්තීය සමිති චෝදනා නැගුවා.

Share