පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින්, පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මේ වන විට පොළොන්නරුව, සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළා.
රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින්, අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් පසු පස හඹාගොස් මෙම වෙඩි තැබීම කර තිබුණේ, එහි පැදිකරු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට සූදානම් වූ අවස්ථාවේ දී බව පොලිසිය පවසනවා.
පොළොන්නරුව – මඩකළපුව මාර්ගයේ, රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින්, වැලිකන්ද ප්‍රදේශයේදී එම මාර්ගයේ පැදවූ, තිදෙනෙකු නංවාගත් යතුරු පැදියක් නවතන ලෙස සංඥා කර තිබෙනවා.
ඒ ඊයේ පස්වරු 5ට පමණ.
පැදිකරු විසින් යුද හමුදා කැලෑ ඇඳුමට සමාන ටී- ෂර්ටයකින් සහ තොප්පියකින් සැරසී සිටි අතර ඔවුන් එම අවස්ථාවේදී ආරක්ෂිත හිස්වැසුම් පැළඳ නොසිටි බව පොලිසිය පැවසුවා.
කෙසේවෙතත් පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදිය හඹා යෑමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
පසුපැදිකරුවන් දෙදෙනා අතරමඟදී පලාගොස් ඇති අතර පැදිකරු වැලිකන්ද ප්‍රදේශයේම පිහිටි සිය නිවසටම යතුරු පැදිය ධාවනය කර තිබෙනවා. පොලිස් අවවාද නොතකා ඉදිරියටම පැමිණි සැකකරු, පොලිස් නිලධාරීන් එල්ලකළ වෙඩි ප්‍රහාර හමුවේ මියගොස් තිබෙනවා.





