කෙහෙළියට එරෙහි නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස නියම කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
මෙම නඩුව ගොනු කර ඇත්තේ දුෂණය නැමති වරද සිදු කිරීම සම්බන්ධයෙන්,

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව ගෙනු කර තිබෙනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අය මෙම නඩුවේ විත්තිකරුවන් වනවා.
හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙ වන විටත් අධි චෝදනා භාර දී ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළේ නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙසයි.

මේ අතර කිරිබත්ගොඩ පොලිසිය ඉදිරිපිට තිබෙන රජයට අයත් ඉඩමක කඩ පේළියක් සෑදීමෙන් රජයේ දේපළ අවභාවිතයක් සම්බන්ධයෙන් මහර අධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීම සඳහා අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී අද කැඳවනු ලැබුවා.
මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඒ් අනුව ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය නියෝග කළේ විත්තිකරුවන්ට සිතාසි නිකුත් කර නැවත නඩුව පෙබරවාරි 28 වැනිදා කැඳවන ලෙසයි.

Share