පාකිස්තානය සමග පැවති t20 තෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

නායක දසුන් ශානකගේ සුපිරි පිතිකරණයත්, වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් වර්ෂාවෙන් බාධා එල්ල වූ තෙවැනි තරගය ජය ගනිමින් පාකිස්තානය සමග පැවති t20 තරගාවලිය සම කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙම තරගයේ දී කඩුලු 4ක් දවා ගත් වනිඳු අඩුම තරග ගණනකින් t20 කඩුලු 150 සීමාව පසුකළ ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් ද තැබුවා.

රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයට ඊයේ විටින් විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. කාසියේ වාසිය දිනා ගත් පකිස්ථාන නායක සල්මන් අලී අගාර් දෙවරක් නොසිතාම පන්දුරැකීම තෝරා ගත්තා.
තම නායකයාගේ තීරණයට සාධාරණයක් කළ පකිස්ථාන පන්දු යවන්නන් තරගයට හොද ආරම්භයක් ලබා ගත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලත ලකුණු මැෂිම වන පැතුම් නිස්සංකට සිය පිත්ත ක්‍රියාත්මක කිරීමටත් පෙරම යළි ක්‍රීඩාගාරයේ සුව පහසු අසුනක් වෙන් කර දෙමින්.
නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් සිය වගකීම අත් නොහැරීම නිසා ශ්‍රී ලංකා ඉණිම කඩා වැටීම වැළකුණා.
නායක දසුන් ශානක සහ ජනිත් ලියනගේ 6 වන කඩුල්ලට ලකුණු 52ක වේගවත් සබඳතාවක් ගොඩ නැගුවා.
ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන්, පන්දු 9ක් තුළදී ලකුණු 34ක් රැස් කළේ හයේ පහර 5ක් ස සමගින්.
ඒ අනුව නියමිත පන්දුවාර 12 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුළු 6ක් දැවී ලකුණු 160ක් ලෙස සටහන් වුණා.
පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 3ක් දවා ගත්තා.
ලකුණු 161ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්ථාන පිළිතුරු ඉනිම අතරතුර තරගය විටින් විට දෙපිළටම විවෘත වුණා.
තරගයේ හැරවුම් ලක්ෂය වුයේ පාකිස්තාන නායක සල්මන් අගාර් ගේ දැවී යාමයි.
ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ සල්මන් අගාර් පන්දු 12කදී ලකුණු 45ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ඔහුගේ දැවීයාමෙන් අනතුරුව යළි තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 79ක් තුළ තවත් කඩුලු 5ක් දවා ගනමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේ පන්දුවාර 12 තුළ පාකිස්තාන ඉනිම ලකුණු 146කට සීමා කරමින්.
විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ වනිදු හසරංග කඩුළු 4ක් දවා ගත්තේ, සිය ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 150 සීමාව පසුකළ පස්වැනි පන්දු යවන්නා බවට පත් වුණා.
ඉනිම 90 කදී එම කඩඉම පසු කළ වනිඳු ඉතිහාසයට එක් වන්නේ අඩුම ඉනිම සංඛ්‍යාවක් තුළ t20 කඩුලු 150ක් දවා ගත් ක්‍රීඩකයා ලෙසයි.
ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගය 1-1ක් ලෙස සම කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Share