දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස තනා දීමට සහ භානි වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රධානය කිරීමේ උත්සවයකට කුරුණෑගල දී ඊයේ එක් වූ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් කාර්යක්ෂමව සහ නිසිලෙස පරිහරණය කිරීම රජයේ නිලධාරීන්ගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේද පරම වගකීමක් බවයි.
ජනාධිපතිවරයා එසේ පවසද්දී බර වාහන පවා ගමන් කළ හැකි පරිදි ශක්තිමත් ලෙස නිමකර තිබූ මාර්ගයක් මැද කාණුවක් කපා කඩවත, ඉහළ බියන්විල, කනත්ත පාරෙ සිදුකරන අරුම පුදුම සංවර්ධන කටයුත්තක් පිළිබඳ පුවතක් ටී.වී.සුප්‍රීම් නිව්ස් ඔස්සේ අප රටට අනාවරණය කළා.
සත්‍ය තොරතුරු රටට අනාවරණ කිරීමේ ප්රමුඛ කාර්යය කරගත් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස මෙම ඉදිකිරීමට පක්ෂව සහ විපක්ෂව සියලු කරුණු වාර්තා කිරීමටත් අපි පසුබට වුණේ නැහැ.
එලෙස වාර්තා කිරීමට එම ප්‍රදේශයට පැමිණි අප ප්රවෘත්ති කණ්ඩායමට ඊයේ මුහුණ දීමට සිදුවූයේද අනපේක්ෂිත තත්ත්වයකටයි.
අප මග හරස් කරගත් කනත්ත පාරේ මේ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයට පවා අප ප්රවෘත්ති කණ්ඩායමට යෑමට අවස්ථාවක් සලසා දුන්නේ නැහැ.
කෙසේ වෙතත් මහජන බදු මුදලින් සිදු කෙරෙන මෙම කටයුත්ත සහ එහි ව්‍යුහය සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත බව නිසාම එහි නිසි කරුණු තහවුරු කර ගැනීමේ අරමුණෙන් බියගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට අප ප්රවෘත්ති කණ්ඩායම් අවස්ථා ගණනාවක දී දැරූ උත්සහයන් ව්‍යර්ථ වුණා.
තෙවැනි දිනටත් බියගම ප්‍රාදේශීය සභා සභාපති ලාල් කුමාරපේලි මහතා දුරකතනයට සම්බන්ධ කරගැනීමට හැකිවූවත් ඔහු දැක්වූ ප්රතිචාරයයි මේ.
කඩවත, ඉහළ බියන්විල, කනත්ත පාරෙ මැද මෙලෙස කාණුවක් කපා මේ සංවර්ධන කටයුත්ත සිදු කරන්නේ එම මාර්ගය ඔස්සේ ගලා යන ජලය, නිසි බැස්මකට යොමු නොකරමින්.
ප්‍රදේශයේ කිහිපදෙනෙකුගේ උවමනාවකට ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 23ක් වැය කරමින් මෙම කොන්ක්‍රීට් කාණුව ඉදි කරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
මෙම අවිධිමත් සංවර්ධන කටයුත්තේ සැලැස්ම සඳහා බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්සන් තබා නොතිබුණත් තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙකු අත්සන් තබා තිබෙනවා.
එසේ නම් මෙය සිදුකරන්නේ කාගේ අවසරය හෝ අනුදැනුම මතද ?
පළාත් පාලන ආයතන හරහා ප්‍රාදේශීය සභා වෙත යොමු කෙරෙන මුදල් මහජන බදු මුදල් බවත්, ඒවායෙන් එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටුකිරීම නොව පොදු ජනතා සේවා සැලසිය යුතු බව කවුරුත් සිහිතබා ගත යුතු කරුණක්.
එමෙන්ම ජනතාව වෙනුවෙන් සත්‍ය වාර්තාකිරීමට අප දරණ වෑයම, නන්දොඩවන පුද්ගලයින්ගේ බස්වලට හෝ එල්ලවන වාග් ප්‍රහාරවලට කිසිසේත් නතර කළ නොහැකි බවත් අප පැවසිය යුතුයි.
එමෙන්ම අතපසු වීමක් හෝ ක්‍රියාපටිපාටිය එපිටින් යමක් සිදුවී ඇත්නම් මුණිවත රකිනවාට වඩා මාධ්‍ය හරහා රටේ ජනතාවට ඇත්ත හෙළි කිරීම හෝ ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීමක් නොවේද?





