ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ලබාදෙන අවබෝධතා ගිවිසුමක් සඳහා ඊයේ අත්සන් තැබුණා.
ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී.
උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ තරුණ පිරිස් මේ සඳහා තෝරා ගැණෙන අතර අදාළ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබෙනවා.
ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබෙනවා.
ඒ සඳහා ජපානය වෙනුවෙන් යුනයිටඩ් කෝපරේටිව් ආයතනයේ සභාපති කසුහිරෝ හන්සාකි සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් අත්සන් තැබුවා.
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.
ඔවුන් වයස අවුරුදු 20 ත් 28ත් අතර විය යුතු අතර අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම අනිවාර්ය වනවා.
අයදුම්කරුවන් ජපන් භාෂාව හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකෙනු ඇති.
ජපන් භාෂාව පුහුණු කිරීම් හා වෘත්තීය පුහුණු කිරීම් කටයුතු ජාතික තරුණ සේවා සභාවේ සපුගස්කන්ද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන අතර මේ සඳහා සියලු බඳවා ගැනීම් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් සිදුකරනු ලබනවා.





