යළි කැලඹුණු කාලගුණය

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට සිට දිවයිනේ, උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරනවා.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම්දෙන තුරු, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වූ අඩු පීඩන කලාපය මේ වනවිට පවතින්නේ මඩකලපුවට කිලෝමීටර් 700ක් පමණ දුරින්.
ඉදිරි පැය 12 තුළදී එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා.
එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂිතයි.
ඒ අනුව ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වුණේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා ඉහළ යා හැකි බැවින් අද සිට ඒ ඒ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර පවතින අධික වැසි හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව – සුංගාවිල ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහන ධාවනය සඳහා අද උදෑසන සිට වසා දමා තිබෙනවා. මේ අතර මොණරාගල ප්‍රදේශය හරහා හමාගිය තද සුළං හේතුවෙන් නිවසක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කෙරෙුණු ඉවත් වීමේ නාය යාම් රතු නිවේදන සහ දෙවන අදියරේ නාය යාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවා. මේ අතර අද දිනයේදී උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආශ්‍රිත වායු ගුණාත්මක තත්ත්වය අහිතකර මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

Share