තම වගා කටයුතු සඳහා ජලය ලබා දෙන ඇල හරස් කර වෙනත් ප්‍රදේශයකට ජලය ගෙන යෑම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් හම්බන්තොට මහවැලි ගොවීන් අද පෙරවරුවේ මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලය වැටලුවා.
එහි කලමණාකරු ගොවීන්ගේ ගැටළුවලට විසඳුම් නොදී පිටව යාමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
ගොවීන් චෝදනා කරන්නේ මහවැලි අධිකාරියේ අවසරයකින් තොරව දේශපාලන මැදිහත්විම මත මෙය සිදු කරගෙන යන බවයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයට අයත් ගොවීන් සිය වගා කටයුතු සඳහා ජලය ලබා ගත්තේ DC 7 ඇළ මාර්ගයෙන්.
ගොවින් පවසන්නේ පසුගිය කාලය තුළ ඔවුන්ට තම වගාවන් කර ගෙනයාමට මෙම ඇළ මාර්ගයේ ජලය ප්‍රමාණවත් නොවූ බවයි.
මෙවන් තත්ත්වයක් තුළ පසුගිය සෙනසුරාදා කිසියම් පිරිසක් විසින් ඇළ මාර්ගයට සම්බන්ධ කාණුවක පස් හා වැලි ඉවත් කර තිබෙනවා.
එම ස්ථානයට ගිය මහවැලි ගොවින් ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ වැසි ජලය ගෙනයාම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව අදාළ කානුව පවිත්‍ර කරන බවයි.
කෙසේ වෙතත් එම පිරිස ඊයේ එම කානුව ඇළ මාර්ගය දක්වා දික්කොට තිබුණා.
ගොවීන් පවසන්නේ තම වගාවන්ට ජලය ලැබෙන ඇල මාර්ගය මෙලෙස හරස් කර ඇත්තේ හම්බන්තොට ස්වර්ණමාලි වැව ප්‍රදේශයේ මහවැලි නොවන ගොවින් පිරිසකට ජලය ලබාදීමට බවයි.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ලිපියකින් බලධාරීන් දැනුවත් කිරීම සඳහා මහවැලි ගොවීන් හම්බන්තොට මයුරපුර මහවැලි කොට්ඨාශ කළමනාකරණ කාර්යාලයේ කොට්ඨාශ කළමනාකරු හමුවීමට පැමිණියා.
එහිදී ඔහු නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් උරණ වූ ගොවීන් කාර්යාලය ඉදිරිපිට සිට විරෝධාවක නිරත වුණා.
පසුව පොලිසිය පැමිණ අදාල කොට්ඨාශ කළමනාකරු හා ගොවින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කළා. එම අවස්ථාවේ මහවැලි කොට්ඨාශ කළමනාකරණ කාර්යාලයට පැමිණ සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ හා හම්බන්තොට මහා නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම ගැටලුවට මැදිහත්වීමත් සමඟ ගොවින් සහ ඔවුන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවුණා.





