ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් ආතතිය උත්සන්න වෙමින් පවතිනවා.
මෙහි නවතම සංවර්ධනය වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක් කරගත් බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ටාෆිසූර් රහමන් කණ්ඩායමෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ දැනුම් දීමයි.
බංග්ලාදේශයේ පවතින ගැටුම් සහගත තත්ත්වයන් තුළදී හින්දුන් ඉලක්ක කරගෙන මුදාහැරෙන ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර වශයෙනුයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ. කෙසේ වෙතත් මෙම තීරණය දැඩි ලෙස විවේචනයට ලක් කරන බංග්ලාදේශ තරුණ හා ක්‍රීඩා කටයුතු උපදේශක ආචාර්ය අෂිෆ් නසුරුල් පවසන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ද දැඩි ස්ථාවරයක සිටිය යුතු බවයි. එසේම ඔහු උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලිඛිතව දැනුවත් කළ යුතු බවටත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දීී තිබෙනවා.
උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ආචාර්ය නසරූල් පවසන්නේ පවතින අනාරක්ෂිත තත්ත්වය යටතේ එළැඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග ශ්‍රී ලංකාව වෙත රැගෙන යා යුතු බවයි.
මේ අතර ඉන්දියක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති කොල් කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මුෂ්ටාෆිසූර් රහමන් කණ්ඩායමෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයින් සොයමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන්.
මේ අතර ඉන්දියාවේ ස්ථාවරයට දැඩි ප්‍රතිචාර දක්වන බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග බංග්ලාදේශය තුළ විකාශය කිරීම අත්හිටුවන්නට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.





