කඩුවෙල – කොරතොට, නිවසක සිටි පිරිසක් ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමක්

කඩුවෙල – කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක සිටි පිරිසක් ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන වනාතේ චතුවා නැමැත්තාගේ පාර්ශවය විසින් තම හිතවාදීන්ට එරෙහි පහරදීම්වලට කල පලිගැනීමක් ලෙස සිදුකර ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා.
විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ එම පහරදීමට ප්‍රතිප්‍රහාර ලෙස දෙමටගොඩ සහස්‍රපුර හා වනාතමුල්ල ප්‍රදේශවල සිටින වනාතේ චතු නමැත්තාගේ ගෝලයන් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කිරීමේ උත්සාහයක් ද පැවති බවයි.
ඒ අනුව ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඊයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

යළි හිස ඔසවන පාතාලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බොරැල්ල පොලිසිය හා බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ කොරතොට පහරදීමට ප්‍රතිප්‍රහාර ලෙස දෙමටගොඩ සහස්‍රපුර හා වනාතමුල්ල ප්‍රදේශවල සිටින වනාතේ චතු නමැත්තාගේ ගෝලයන් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කිරීමේ උත්සාහයක් පැවති බවයි.
මේ තොරතුර ලද සැණින් ක්‍රියාත්මක වූ පොලිසිය ඊයේ එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගත්තා.
එහිදී සුදු පැහැති කමිස ඇඳගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සහස්‍රපුර වනාතමුල්ල ප්‍රදේශයේ ගැවසෙන බව නිරීක්ෂණය වි තිබෙනවා.
පොලීසිය ඔවුන් දෙදෙනා පරීක්‍ෂා කිරීමට යාමේදී ඔවුන් යතුරු පැදියකින් පලායාමට උත්සහ දරා තිබෙනවා.
මේ හේතුවෙන් යතුරුපැදියට වෙඩි තැබීමක් සිදුකළ නමුත් එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් පසුපස හඹා ගොස් ඔවුන්ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
පසුව බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් සහ යතුරුපැදි සංචාරක කණ්ඩායමේ නිලධාරීන් විසින් එම ස්ථානයේදිත් අහසට වෙඩි තබා පොර බැඳීමකින් අනතුරුව ඔවුන්ගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙතන දී පලා ගිය අනෙක් සැකකරු ද වේයන්ගොඩ පල්ලෙවල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පලා ගිය පුද්ගලයා ත්‍රීරෝද රථයකින් දෙමටගොඩ දුම්රිය ස්ථානයට ගොස් පසුව ගම්පහ දුම්රිය ස්ථානයටත්, ගම්පහ දුම්රිය ස්ථානයෙන් නැවතත් වේයන්ගොඩ දුම්රිය ස්ථානයටත් දුම්රිය දෙකක් මාරු කරමින් පළා ගොස් ඇති බවයි.
අනතුරුව සැකකරු කුලී රථයකින් සිය නිවස වෙත ගොස් තිබෙනවා.
මොවුන් දෙදෙනා පළිගැනීමක් වශයෙන් සහස්‍රපුර වනාන්තමුල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කරන්නට යන බවට යම් සැකයක් ඇතිවීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් යුද හමුදා සෙබලෙකු ලෙස අවි පුහුණුවක් ලබා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් දෙදෙනාම අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

Share