මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරිමට කටයුතු කෙරේ

මහනුවර නගරයේ පදික වේදිකා මත පදිකයින්ට බාධා වන අයුරින් වෙළඳාම් කටයුතු සිදුකළ අනවසර පදික වෙළඳුන් ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක් අද පෙරවරුවේ සිදු කෙරුණා.
ඒ මීට පෙර මහනුවර නගර සභාවෙන් සිදුකළ දැනුම්දීමක් පරිදි‍යි.
කෙසේ වෙතත් වෙළෙදුන් පවසන්නේ තමන්ට ලබා දුන් විකල්ප ස්ථාන වෙළදාමට සුදුසු ස්ථාන නොවන බවයි. පදික වේදිකා අවහිර කරමින් වෙළඳාමේ නිරතවන පදික වෙළෙදුන් මෙරට ප්‍රධාන නගර ගණනාවක දක්නට ලබෙනවා.
පදික මං තීරු භාවිතා කරන ජනතාවට බාධා පැමිණෙන ලෙස වෙළඳාම් කටයුතු සිදුකරන මෙම වෙළෙන්දන් පදිකයින්ට ඉමහත් බාධාවක් වී තිබෙනවා.
එලෙස මහනුවර නගරයේ පදිකයින්ට බාධා කෙරෙන අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන බවට මහනුවර මහ නගර සභාව පසුගිය ජූලි මාසයේ සිට දැනුවත් කිරිම් සිදු කර තිබුණා.
ඒ අනුවයි මහනුවර නගරයේ මෙන්ම පේරාදෙණිය හා කටුගස්තොට නගරවලද අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම අද සිදු කෙරුනේ.
ඒ මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, මහනගර සභා නිලධාරීන් සහ පොලිසියේ මැදිහත් වීමෙන්.

කෙසේ වෙතත් පදික වෙළෙඳුන් පවසන්නේ, තමන්ට විකල්පයක් ලෙස බෝගම්බර ප්‍රදේශයේ ස්ථානයක් ලබාදුන්නද එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බැවින් එම ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

Share