බදුල්ල වේවැස්ස වත්තේ නාය යෑමක අවදානමක්

මේ දිනවල ඇදහැලෙන මහ වැසි සමඟ බදුල්ල වේවැස්ස වත්තේ නාය යෑමක අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු හර්ෂනි පෙරේරා මහත්මිය සඳහන් කරනවා.
ඇය පවසන්නේ මෙම නාය යෑමේ අවදානම වේවැස්සේ කොටසකට මෙන්ම ඊට පහළින් ඇති විනීතගම දක්වාම පවතින බවයි.
කෙසේ වෙතත් මෙම ස්ථානවල නිරික්ෂණ කටයුතු අඛන්ඩව සිදුවෙමින් පවතින අතර නායයැමේ අවධානමෙන් සුන්බුන් කොටස් ඒමට හැකි කලාප වලින් ජනතාවට ඉවත් වීමේ නිවේදන ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවයි ඇය වැඩිදුරටත් සඳහන් කලේ.

පසුගියදා මෙරටට බලපෑ දිට්වා සුලි කුණාටුවත් සමඟ නායයෑමේ දැඩි අවදානමට සහ දැඩි පීඩාවට ලක් වූ ප්‍රදේශයක් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයයි
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ වල පවතින නායයාම් අවදානම් තත්ත්වය තවමත් පහවගොස් නැහැ.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම අවදානමක් ඇති ග්‍රාමීය නිවාස සහ වතු ගොඩනැගිලි 2,959ක් අධි අවදානම් ලෙස මේ වන විට වර්ගීකරණය කර තිබෙනවා
කෙසේ වෙතත් මේ දිනවල නැවත බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ බදුල්ල, වේවැස්ස වත්තේ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් නාය යෑමේ ලක්ෂණ හදුනාගෙන ඇති අතර ඊට පහලින් පිහිටි විනීතගම දක්වා මෙම නායයෑමේ අවදානම පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු හර්ෂනි පෙරේරා මහත්මිය පවසන්නේ.
ස්ථාන කිහිපයකින් මේ වන විට පස් කදු කඩා වැටීම ආරම්භ වී ඇති අතර එය බදුල්ල පස්සර ප්‍රධාන මහා මාර්ගය දක්වා ම ව්‍යාප්ත වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් බලධාරීන් හඳුනාගත් අවදානම් සහිත පවුල් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට මින් පෙරද උත්සාහ කළද, ජනතාව ඊට දැක්වූ ප්‍රතිචාරය යහපත් නොවීම මත මෙය පසුගිය කාල සීමාවේදීත් දුෂ්කර කාර්යක් වුණා.
එබැවින් මෙම තත්ත්වයන් දැඩිව සැළකිල්ලට ගනිමින් ආරක්ෂිත ස්ථාන කරා යෑමට පියවර ගැනීමට ජනතාව ඉදිරියේදී කටයුතු කළ යුතු වනවා.

Share