බීමත් රියැදුරු නිසා පොලිස් නිලධාරියා මරුට

අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂාවේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු අනතුරට ලක්කර පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අනතුරින් පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ සිවිල් ආරක්ෂක නිලධාරියා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අම්බලන්තොට රෝහලේයි.

අම්බලන්තොට පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු අද අලුයම අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසල පාමුර සංචාරයේ නිරතව සිට තිබෙනවා
එහිදී තංගල්ලේ සිට කතරගම දෙසට ධාවනය කළ මෝටර් රථයක් ගැන සැක සිතූ පොලිස් කොස්තාපල්වරයා එය නතර කරන්නැයි සංඥා කර ඇති බවයි පැවසෙන්නේ.
එහෙත් එම අණ නොතැකූ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා සහ සිවිල් ආරක්ෂක නිලධාරියා ද අනතුරට ලක්කරමින්.
මෙම අනතුරෙන් පසු සැකකරුවන් මෝටර් රථය මඟ දමා පලාගොස් තිබුනා.
කෙසේ වෙතත් මෙහිදී අනතුරට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත් වූ අතර සිවිල් ආරක්ෂක නිලධාරියා අම්බලන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.
දෙදරු පියෙකු වූ මියගිය පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා සිටි අතර ඔහුට සමුදීමේ උත්සවයක්ද අද දින අම්බලන්තොට පොලිසියේදී පැවැත්වීමට ද නියමිතව තිබුණා
කෙසේ වෙතත් අනතුර සිදුකර පලාගිය එක් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව මෝටර් රථයේ රියැදුරුද නීතිඥයෙකු මාර්ගයෙන් අද පෙරවරුවේ පොලිසියට භාරවී තිබෙනවා.
රියදුරා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවයි.

Share