ලොව පුරා ජනතාව මේ වන විට 2025 වසරට සමු දෙමින්, 2026 වසරේ උදාව මහත් හරසරින් සමරමින් සිටිනවා. කෙසේ වෙතත් තවමත් බටහිර ඇමරිකාවේ ඇතැම් රටවලට නව වසර උදා වී නැහැ. මෙරට වේලාවෙන් ඊයේ පස්වරු 3.30ට ඕෂනියාවේ කිරිබති දූපත් රාජ්‍යය නව වසරට අවතීර්ණ වූ ලොව පළමු රට බවට පත්වුණා. ඉන් පැය කිහිපයකට පසුවයි නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයට නව වසර උදා වුණේ. සුපුරුදු පරිදි ම සිඩ්නි වරාය පාලම කේන්ද්‍ර කරගත් උත්කර්ෂවත් ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් ඔස්ට්‍රේලියාව නව වසර පිළිගත්තා.
කෙසේ වෙතත් මෙම ගිණිකෙළි සංදර්ශනයට පෙර බොන්ඩායි වෙරළ තීරයේ සිදුවූ ඛේදජනක සිදුවීම සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වීමක්ද සිදුකර විනාඩියක නිශ්ශබ්දතාවයක නිරත වූයේ එම ඛේදවාචකයෙන් මිය ගියවුන් සිහිකිරීම සඳහායි. හොංකෙං හි නව අවුරුදු පිළිගැනුම විචිත්‍රවත් වුණේ වරායට ඉහළ අහස විචිත්‍රවත් ගිනිකෙලිවලින් ආලෝකමත් කරමින්.
2026 නව වසරේ උදාව වෙනුවෙන් මුලු මහත් ලොවක් සූදානම් වෙද්දී, චීන ජනතාවද එය පිළිගන්නට පෙළගැසුණේ, දින කිහිපයක සිටයි.
ඊයේ රාත්‍රීයේ චීන මාධ්‍ය සමූහයේ මූලිකත්වයෙන් පැවති දැවැන්ත කලා ප්‍රසංගය එහිදී වඩාත් කැපී පෙනුණා.
නැටුම් ගැයුම් ඇතුළු අංග රැසකින් පිරී තිබූ එම ප්‍රසංගය මහත් උත්සවශ්‍රීයක්ද ගෙන තිබූ ආකාරයයි මේ.
මේ අතර 2026 නව වසරේ උදාවත් සමග චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං නුවර සිට ලෝකවාසී ජනතාව වෙත සිය සුබ පැතුම් ද එක් කර තිබෙනවා.
බීජිං හි නව අවුරුදු උදාව සැමරීමේ උත්සව සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. තායිවානය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව වැනි ඈත පෙරදිග රටවල් ද විස්මිත සංදර්ශන සමඟින් නව වසර පිළිගත්තා.
මැද පෙරදිග නව වසර පිළිගැනීමේ ප්‍රමුඛයා ලෙස සැලකෙන ඩුබායි රාජ්‍යය මෙවරත් අති උත්කර්ෂවත් ගිනි කෙළි සංදර්ශනයක් සමඟින් 2026 නව වසර පිළිගත්තා.
මෙහිදී කාගේත් වැඩි අවධානය යොමුවී තිබුනේ ලොව උසම ගොඩනැගිල්ලවන බර්ජ් කලිෆා හි පැවතී ගිනි ගිනිකෙලී සංදර්ශනය වෙතයි.
කෙසේ වෙතත් ඩුබායි රාජ්‍යය හා කරට කර සිටිමින් අති උත්කර්ෂවත් ලෙස නව වසර පිළිගන්නා අබුඩාබී් රාජ්‍යයේ මෙවර එතරම් උත්සවශ්‍රීයක් දක්නට නොලැබීම විශේෂ සිදුවීමක්. සුපුරුදු පරිදිම යුරෝපාකරයේ රටවල්ද 2026 නව වසර පිළිගැනීමට විවිධ ආකාරයේ සංදර්ශන මාලාවන් සැලසුම් කර තිබුණා.
ඒ විචිත්‍රවත් සැමරුම් නැගෙනහිර සිට බටහිර දක්වා යුරෝපය පුරා පැතිර තිබුණා. ලන්ඩනයේ ලොව සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුවේ හරියටම රාත්‍රී දොළහ සටහන් වන විට පලාතටම අසෙන බිග් බෙන් නාදය පරදවමින් එහි රැස්ව සිටි අති විශාල ජනකායේ ප්‍රීති ඝෝෂාව නැගුනේ එක්සත් රාජධානියට නව වසර උදා වූ බව දැනුම් දෙමින්. ඒ සමග ම තේම්ස් නදියට ඉහළ අහස ගිනිකෙලි සංදර්ශනයකින් ආලෝකවත් වුණා.
දකුණු ඇමෙරිකාව නව වසර පිළිගත්තේ මෙරට වේලාවෙන් අද පෙරවරු 8.30ට පමණයි.
දස දහස් ගණනකගෙන් පිරී ඉතිරී ගිය බ්‍රසීලයේ රියෝ අගනුවර කොපකබානා වෙරළ තීරයට ඉහළ අහසේ මෙලෙස විචිත්‍රවත් ගිනිකෙලි රටා මැවුණේ නව වසර පිළිගැනීමටයි.
කෙසේ වෙතත් මධ්‍යම පැසිෆික් සාගරයේ බේකර් දූපත 2025 වසරෙන් 2026 වසරට එළැඹෙන ලොව අවසන් රට ලෙසටයි සැලකෙන්නේ.
ඒ අනුව බේකර් දූපතට විස්සයි විසි හය නව වසර එළැඹෙන්නේ මෙරට වේලාවෙන් පස්වරු 5.30ටයි.
ඒ වන විට නව වසර පළමුව උදා වූ කිරිබති හි දිනය සටහන් වෙන්නේ 2026 ජනවාරි 2 වැනිදා ලෙසින්.





