ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත සම්බන්ධයෙන් දෙසැම්බර් 25 වැනිදා සිට දත්ත එකතු කිරීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

බැක්ටීරියා විස අඩංගු බවට සැකමතු වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලද ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත සම්බන්ධයෙන් දෙසැම්බර් 25 වැනිදා සිට දත්ත එකතු කිරීම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත්තේ අදාළ එන්න ලබාදීමෙන් පසුව රෝගීන් තුළ මතුවූ රෝග ලක්ෂණ හා සංකූලතා ඇතුළු සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙසයි.
කෙසේ නමුත් මෙම දත්ත රැස් කිරීම ආරම්භ කර ඇත්තේ සිදුවීම වාර්තා වී සති දෙකකට පමණ පසුව වීම විශේෂත්වයක්.

ඔන්ඩන්සෙට්රෝන් නැමති ඖෂධ එන්නත ලබාදුන් රෝගියෙකුට සංකූලතා මතුවීමේ සිදුවීමක් පසුගිය දා මහනුවර ජාතික රෝහලෙන් වාර්තා වීමෙන් පසු අදාළ එන්නත පිළිබඳ කරන ලද රසායනාගාර පරීක්ෂණයකදී එම එන්නතේ විෂබීජ අඩංගු බව මුල්වරට අනාවරණය වී තිබුණා
ඒ් සමගම කොළඹ අයි ඩී එච් රෝහලට ප්‍රතිකාර ලැබීමට ඇතුළත් වූ ඩෙංගු රෝගීන් දෙදෙනෙකුගේ මරණයටත් ඔන්ඩන්සෙට්රෝන් නැමති ඖෂධයේ සම්බන්ධයක් ඇත්ද යන සැකයත් සමග මෙරට රජයේ රෝහල් තුළ පැවති අදාළ ඖෂධයේ එන්නත් කාණ්ඩ භාවිතයෙන් ඉවත් කරන ලෙසයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දෙසැම්බර් 12 වැනි දා උපදෙස් නිකුත් කර තිබුණේ.
ඒ් සමගම අදාළ ඖෂධ එන්නත නිෂ්පාදනය කර මෙරටට ආනයනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමෙන් මෙරටට ගෙන්වූ තවත් ඖෂධ වර්ග 10ක් රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමටත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තා.
කෙසේ වෙතත් මෙම මතභේදාත්මක සිදුවීමෙන් සති දෙකක කාලයක් ඉක්ම යෑමෙන් පසු අදාළ එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බවයි වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ අත්සනින් රෝහල් වෙත නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මගින් පෙන්නුම් කරන්නේ.
මේ අතර ඊයේ පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ ඉන්දීය මහකොමසාරිස්වරයාට ලිපියක් භාර දෙමින් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඖෂධ නියාමන රසායනාගාරයක් පිහිටුවීමට ඉන්දියාවේ සහය ලබාදෙන ලෙසයි. ඒ් සමගම ඊයේ සෞඛ්‍ය සේවක සංගමය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තබන ලද ඖෂධ නියාමනයට අදාළ ගිවිසුම පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කළා. මේ අතර ඉන්දියානු ඖෂධ ගිවිසුමට විරෝධය පළ කරමින් ජන අරගල සන්ධානය සංවිධානය කළ විරෝධතාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වුණා.

Share