දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විනාශ වූ බදුල්ල – ස්ප්‍රිංවැලි පාලමට පිළියමක් ලෙස සකසන තාවකාලික බේලි පාලම තව නොබෝ දිනකින් වාහන ගමනාගමනයට විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
කෙසේ වෙතත් මෙම තාවකාලික පාලම ඉදිකළ ද තවමත් මාර්ගය නිසි තත්ත්වයට පත්නොවීම නිසා ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විනාශ වූ වසර 200ක් පමණ පැරණි බදුල්ල – ස්ප්‍රිංවැලි පාලමට විකල්පයක් ලෙස අඩි 90ක් දිග සහ අඩි 50ක් උස තාවකාලික බේලි පාලමක් මේ වන විට ඉදිකරමින් පවතිනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ විනාශ වූ පාලම ඉදිකරන තෙක් මෙය තාවකාලිකව පවත්වාගෙන යන බවයි.
මෙම තාවකාලික පාලම ඉදිකිරීම හේතුවෙන් මෙතෙක් මහා අගාදයකට බැස සැඩ පහරකින් එතෙර මෙතෙර යෑමට තිබූ දැඩි අවධානම අවසන් වී තිබෙනවා.
මුලින් පාගමනින් පාලමෙන් එගොඩ මෙගොඩ යාමට අවසර ලබාදී ඇති අතර ඉන්පසු කුඩා වාහන පමණක් ධාවනයට අවසර දෙන බවත්, නිසි අධ්‍යනයකින් පසු මගීන් සමඟ බස් රථ ගමනාගමනයට අවසර දෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.
කෙසේ වෙතත් ස්ප්‍රිංවැලි නගරය ආසන්නයේ මෙම පාලම ඉදි කළ ද තවමත් මාර්ගය නිසි තත්ත්වයට පත්නොවීම නිසා ජනතාව තවමත් දැඩි ප්‍රවාහන දුෂ්කරතාවකට මුහුන දෙනවා.
ඒ අනුව බදුල්ල සිට මීමලේ දක්වා දිවෙන බස්රථ සේවාව නතර වීම නිසා පවුල් 600ක් පමණ ජීවත්වන ස්ප්‍රිංවැලි වත්තේ ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.
එමෙන්ම ස්ප්‍රිංවැලි නගරයේ සිට මීමලේ දක්වා දිවෙන මාර්ගයේ කොටසක් ගිලා බැසීමක් හේතුවෙන් ජනතාවට කිලෝමීටර් 4ත් 7ත් අතර දුරක් පාගමනින් යාමට සිදුව තිබෙනවා.





