සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය වෙයි

ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු පද්ධතිය අද සිට ඩිජිටල්කරණය කෙරුණා.
ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා තොරතුරු ලියාපදිංචිය මෙන්ම ගිණුමේ යාවත්කාලීන තොරතුරු දැනගැනිමටද අවස්ථාව හිමිවනවා.
මෙය තවදුරටත් පුළුල් කරමින් ඉදිරියේ දී ප්‍රතිලාභ අයදුම්පත් මාර්ගගතව යොමු කිරීමේ අවස්ථාව ලබා දීමට ද අපේක්ෂා කරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

වසර 25ක් පමණ පැරණි දැනට සේවක අර්ථසාධක අරමුදලේ ඇති තොරතුරු පද්ධතිය වර්තමාන සහ අනාගත අවශ්‍යතාවලට අනුව නවීකරණය කිරීම අත්‍යාවශ්‍ය කාර්යයක්ව පැවතියේ අරමුදල මගින් සේවා ලබා ගැනීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහායි.
ඒ සඳහා වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ අවධානය යොමු වූ අතර ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සේවා සහ කාර්යයන් අද සිට ඩිජිටල්කරණය කර තිබෙනවා.
වර්ෂයකට නව ව්‍යාපාර 900ක් පමණ සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වන අතර තොරතුරු ලියාපංදිංචිය සඳහා දිනකට 1400ක පමණ පිරිසක් දෙපාර්තමේන්තුවට පැමිණෙනවා.
එය වර්ෂයකට ලක්ෂ 6ක පමණ පිරිසක්.
මෙම නව ක්‍රමවේදය හරහා එලෙස පැමිණීමෙන් තොරව සේවා ලබා ගැනීමට හැකියාව හිමි වන අතර මෙමගින් සේවකයින්ට මෙන්ම සේවා යෝජකයින්ට පහසුකම් රැසක් හිමිවනු ඇති.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව වෙන් වෙන් වශයෙන් දත්ත පද්ධති දෙකක් පවත්වාගෙන යාම නිසා අරමුදල මගින් සේවා ලබා ගැනීමේදී ඇතිවන දුෂ්කරතා මඟ හරවා ගනිමින් මෙම නව පද්ධතිය තුළ ඒකාබද්ධ සේවා සැපයීම වෙනුවෙන් පහසුකම් සලසා තිබෙනවා.
නව ක්‍රමවේදය තුළ කිසියම් සේවකයෙකු එක් ආයතනයක සිට වෙතන් ආයතනයකට මාරු වූ විට නැවත ආකෘති පත්‍ර පුරවා භාරදිම අවශ්‍ය නොවන බව ද කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස අදාළ ආයතනය විසින් සේවක දත්ත තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු තම ගිණුමට අදාළ සියලු තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරිමට ද සේවකයින්ට අවස්ථාව හිමියි. ඒ සඳහා CHECK EPF BALANCE යන ගොනුව විවෘත කර එහි ඇති ආකෘති පත්‍රය පුරවා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමෙන් මුරපදයක් ලබා ගත යුතු වනවා.
ඉන් අනතුරුව අන්තර්ජාලය හරහා ගිණුම පරිශීලනයට මෙන්ම SMS සේවාව සඳහාද පහසුකම් සැලසෙනවා.

Share