රටට බල පෑ දිට්වා සුළිකුණාටුවෙන් රට මුහුණ දුන් ආපදා තත්ත්වය හමුවේ වුව ද දෙසැම්බර් මස පළවැනිදා සිට 25 වැනිදා දක්වා මෙරටට සංචාරකයින් 195,394 දෙනෙක් පැමිණ තිබෙනවා.
ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන මාසික සංචාරක පැමිණීම් වාර්තා අනුව 2025 වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ගණන විසි දෙලක්ශ 98,987ක්.
2024 වසර ට සාපේක්ෂව 2025 වසර තුල දී සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්ථා අනුව පැහැදිලි වනවා.
කෙසේ කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස දහය තුළ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණා.
ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කර තිබුණේ මෙම වසර තුළදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණෙනු ඇති බවටයි.
කෙසේ වෙතත් නොවැම්බර් මස අගභාගයේ දී රටට බරපතල ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සංචාරකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි දක්නට ලැබුණේ.
රට තුළ ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වයත් සමඟ සංචාරකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ වෙන් කිරීම් අවලංගු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ගිය වසරට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී සංචාරකයින්ගේ ආගමනයේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබුණා.
ඒ අනුව 2018 වසරටට පසු මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමේ උත්සාහය යථාර්ථයක් වන ආකාරයක් මේ වන විට දක්නට ලැබෙන්නේ නැහැ.
කෙසේ වෙතත් ගිය වසරට සාපේක්ෂව මේ වසර තුළදී තවමත් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බව සත්‍යයක්.
2018 වසරේදී මෙරටට සංචාරකයින් විසිතුන් ලක්ෂ 33,796ක් පැමිණ ඇති අතර ඉන් පසුව සිදුවූ වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව, ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය, මෙන්ම මෙරටේ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ද රටේ සංචාරක කර්මාන්තය දරුණු කඩා වැටීමකට හසුවුණා.
අනතුරුව 2024 වසරේ මෙරටට සංචාරකයින් විසිලක්ෂ 53,465 ක් පැමිණ තිබු අතර එය එම අර්බුදයන්ගෙන් පසු මෙරට සංචාරක කර්මාන්තයේ පිබිදීමට උරදුන් වසර බවට පත් වුණා.
කෙසේ නමුත් 2024 වසරේ පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමානය හා සැසදීම්දී 2025 වසරේ මේ දක්වා සංචාරකයින් 245,522ක් වැඩියෙන් පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්ථා අනුව මේ වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, ජුලි සහ නොවැම්බර් මාස වලදී මාසයකට ලක්ෂ 2ට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව එම දත්ත වාර්ථා පෙන්වා දෙනවා.
මේ වසරේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ජනවාරි මාසයේදී වාර්තා වූ අතර එම මාසයේ දී මෙරටට සංචාරකයින් 252761දෙනෙක් පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවත් සමඟ පසුගිය නොවැම්බර් 27 සිට මෙරට පැවති ආපදා තත්ත්වය මධ්‍යයේ වුවද දෙසැම්බර් මස 1 වනදා සිට 25 වනදා දක්වා සංචාරකයින් 195,394ක් පැමිණ අති බවයි මෙම වාර්ථා පෙන්වා දෙන්නේ.
ඒ අතර 45,020ක වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර දෙවනුවට රුසියාවෙන් 20,150ක ප්‍රමාණයක් ද එක්සත් රාජධානියෙන් 15,768ක් ජර්මනියෙන් 12,740ක් හා ඔස්ටේලියාවෙන් 10,934ක් පැමින තිබෙබවා.
මීට අමතරව චීනය, ඇමරිකාව, ප්‍රංශය, පෝලන්තය, ඉතාලිය ඇතුළු වෙනත් රටවලින් මෙලෙස සංචාරකයින් පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් බාදක මධ්‍යයේ වුව ද මෙරට සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනයක් දැකිය හැකි වසරක් ලෙස යි 2025 වසර සැලකිය හැක්කේ.





