හමුදා කුමන්ත්‍රණයෙන් වසර පහකට පසු මියන්මාරයේ මහ මැතිවරණය හෙට

හමුදා කුමන්ත්‍රණයෙන් වසර පහකට පසු මියන්මාරයේ මහ මැතිවරණය හෙට පැවැත්වෙනවා.
නමුත් පාලක ජුන්ටාව විසින් දැනටමත් බොහෝ වාරයක් ප්‍රමාද කර ඇති මෙම ඡන්ද විමසීම, ව්‍යාජ මැතිවරණයක් බවටයි එක්සත් ජාතීන් ඇතුලු බොහෝ පාර්ශ්ව චෝදනා කරන්නේ.
රටේ වඩාත් ජනප්‍රිය පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විසුරුවා හැර ඇති අතර, එහි නායිකා අවුන් සාන් සූ කී හෙළි නොකළ බන්ධනාගාරයක සිර කර සිටිනවා.
මාසයක කාලයක් තුළ අදියර තුනකින් පැවැත්වෙන ඡන්දය, තවමත් යුද්ධයෙන් දැවෙන රටේ විශාල ප්‍රදේශයක නොපැවැත්වෙනු ඇති.
කෙසේ වෙතත් ඉන්දියන් සාගරයට පිවිසීමට චීනයේ තීරණාත්මක සම්බන්ධකයක් වන මියන්මාරයේ යටිතල පහසුකම් සංවර්ධනයට ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇති චීනය හමුදා ජුන්⁣ටාවේ මැතිවරණ ක්‍රියාවලියට පුලුල් සහයක් ලබා දී තිබෙනවා.
මියන්මාරයේ අර්ධ නීත්‍යානුකූල රජයක් පිහිටුවීමට හොඳම ක්‍රමය මෙය ලෙස බීජිනය සලකන අතර ඒ තුළ අනෙකුත් රටවලට ද අකමැත්තෙන් වුවද මියන්මාරය සමග සාකච්ඡා මේසයට පැමණීමට සිදුවනු ඇති.
ඒ හරහා දැනට අතරමග නැවතී ඇති වරාය සංවර්ධන සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමේ මාර්ගයක් විව⁣ර කරගැනීම චීනයේ අපේක්ෂාවයි.

Share