සුනාමි ව්‍යසනයට අදට වසර විසි එකක්

මෑත අතීතයේ අප මුහුන දුන් දිට්වා සුළි කුනාටුවට පෙර අප රටේ ඉතිහාසයේ මුහුන දුන් දරුණුතම ඛේදවාචකය වූ සුනාමි ව්‍යසනයට අදට වසර විසි එකක් සපිරෙනවා.
එක් ඇසිල්ලකින්ම මෙරට මුහුදුකරයේ ජීවිත දහස් ගණනක් බිලිගත් මෙම ව්‍යසනයෙන් අකාලයේ දිවි ගමනට සමුදුන් සියල්ලන් ම සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින උදෑසන 9.26ට රට පුරා සැමරෙනවා.
ඒ අතුරින් සුනාමි අනුස්මරණ ප්‍රධාන උත්සවය අද පැවැත්වුණේ තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදියි.

2024 දෙසැම්බර 26 වැනිදා උදෑසන ලොවපුරා ජීවිත 225,000ක් බිලිගත් ඒ මහා සුනාමි ඛේදවාචකය සිදුවී අදට වසර 21ක්.
එය නූතන ඉතිහාසයේ වඩාත්ම ව්‍යසනකාරී ලෝක ඛේදවාචකය ලෙසින් සැළකෙනවා.
ඉන්දුනීසියාව මෙම ව්‍යසනයට ගොදුරුවූ ප්‍රධානතම රට බවට පත්වූ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල්වලටද මේ සුනාමියෙන් දැඩි හානි සිදුවුණා.
රිච්ටර් මාපකයේ 9.3ක් ලෙසින් සටහන් වූ 2004 සුනාමියෙන් රටවල් 11කට හානි සිදු වූ අතර මෙයින් වැඩි ම ජීවිත හානි සිදුවුනේ ඉන්දුනීසියාවටයි.
මේ ඛේදවාචකයෙන් ඉන්දුනීසියාවේ වැසියන් 237,071ක් මියගිය අතර තවත් 113,937ක් අතුරුදන් වුනා.
දෙවන වැඩි ම විනාශය සිදු වූ ශ්‍රී ලංකාවේ වැසියන් 30,957ක් මේ ඛේදවාචකය හේතුවෙන් දිවි ගමනින් සමුගත් අතර තවත් 4,698ක ගේ නම ලියවුනේ අතුරුදන් වූවන් ලෙසින්.
ඒ දන්නා ඉතිහාසයේ ස්වභාවික ව්‍යසනයකින් මියගිය වැඩිම සංඛ්‍යාව වාර්තා කරමින්.
ඊට අමතරව මේ ස්වභාවික ව්‍යසනය නිසා මෙරට වසියන් 21,441ක් තුවාල ලබනවා.
ජාතියක්, ආගමක්, කුලයක් හෝ වයසක් නොසලකා හැමෝටම එක හා සමානව සලකා විපාක ගෙන දුන් සුනාමිය අනාගතය භාර ගැනීමට සිටි මේ රටේ දරුවන් විශාල ප්‍රමාණයකට තම ආදරණීය මව හෝ පියා අහිමි කළා.
ඒ අනුව සුනාමි රකුසා විසින් අප රටේ දරුවන් 3,954කට මව හෝ පියා අහිමිකල අතර තවත් ළමුන් 979කට මව හා පියා යන දෙදෙනාම අහිමි කලා.
සුනාමි දල රළ මෙරට මුහුදුකරයේ සෝදා දැමූ නිවාස සංඛ්‍යාව 41,000ක්.
මෙම ව්‍යසනය හේතුවෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 16,389ක්.
ඊට අමතරව තවත් 5,554ක් අතුරුදන් ලයිස්තුවට එක්වුනා.
තායිලන්තයේ ජීවිත 5,393ක් සුනාමියට බිලිවූ අතර තවත් 2,994ක් සදහටම අතුරුදන් වුනා.
සුනාමිය කියූ සැණින් ලාංකික අපේ මතකයට මුලින්ම නැගෙන සිද්ධිය වන්නේ පැරෑලිය දුම්රිය අනතුර.
දුම්රියෙන් ගමන් කළ පිරිස වගේම සුනාමියෙන් ජීවිතය බේරාගන්න දුම්රියට ගොඩවුණු 1700ක් දෙනාට එදා සිය ජීවිතයට සමු දෙන්නට සිදු වුණා.
ඒ ලෝක ඉතිහාසයේ දුම්රිය අනතුරකින් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවේ වාර්තාවත් අපේ රට ඉදිරියේ තබමින්.
සිත් පිත් නැති සුනාමි රළපහර මොහොතකින් නගර රැසක් එකම සොහොන් බිමක් බවට පත් කළා.
ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණා.
එමෙන්ම මෙම ආපදාවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබුවා.

සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත් වුණා. මේ අතර පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීම සිදු වුණා.

Share