දිට්වා සුලි කුණාටුවෙන් හානිවූ මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතී

දිට්වා සුලි කුණාටුවත් සමග සිදු වූ ආපදා හේතුවෙන් මෙරට මාර්ග සහ පාලම් රැසක් විනාශ වුණා.
ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් තිබෙනවා.
මාර්ග සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් ගමනාගමන කටයුතුවල දී ජනතාව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මාර්ග සහ පාලම් විනාශයට පත්වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75ක පමණ අලාභයක් සිදුව තිබෙන බව දැනට දළ වශයෙන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග 316ක් සහ පාලම් 40ක් මෙලෙස විනාශ වූ බව සඳහන්.
මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ විනාශ වූ මෙම මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් බිලියන 190ක පමණ මුදලක් අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙම තත්ත්වය තුළ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමේ දී නිසි මාර්ග පහසුකම් නොමැතිව ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටිනවා.
අළුපොළ සිට බඹරුබොටුව ගඟ හරහා ඉදිකර තිබෙන සපත්තු පාලම, බටේ වෙල, උතුර කන්ද, මහවත්ත ගුරුබැවිලාගම යන ගම්මාන රැසකට ළඟාවීමට ඇති එකම මාර්ගයයි.
බඹරුබොටුව ගඟේ ජල මට්ටම තවමත් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මාර්ගය භාවිත කරන ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.
ඔවුන් දැන් ගඟ හරහා ගමන් කරන්නේ අබලන් වැල් පාලමක් මතින්.
ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සපත්තු පාලම වෙනුවට බඹරොබොටුව ගඟේ ඉහළ යන ජල මට්ටමට ගැලපෙන ලෙස පාලමක් ඉදිකර දෙන ලෙසයි.
මේ අතර මඩුගස්තලාව සිට වරකදෝවා, ඇල්ලේ ගෙදර සහ පිටියේ ගෙදර ඇතුලු ගම්මානවල පවුල් 70ක් පමණ ගමන් බිමන් ගිය වැල්පාලම ගංවතුරට හසුව කැඩී ගොස් තිබෙනවා.
ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම අඩි 30 පමණ උස්ව පැමිණීම හේතුවෙන් පාලම කැඩී ගිය බව ගම්වාසීන් පවසනවා.
වැල්පාලම කැඩී යෑම හේතුවෙන් මේ ජනතාවට ඔය තරණය කිරීමට සිදුව ඇත්තේ අවදානම් ලෙස ජලයේ බැස ගමන් කරමින්.

Share