ගාසාව ‘ස්මාර්ට් නගරයක්’ කිරීමේ අමෙරිකානු සැලසුමක්

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහිත ‘ස්මාර්ට් නගරයක්’ බවට පත් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජරේඩ් කුෂ්නර් සහ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ් ඩොලර් බිලියන 112ක ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.
අධි තාක්ෂණයෙන් යුතු නගරයක් ලෙස ගාසා තීරය සංවර්ධන කිරීමේදී අමෙරිකාව වැඩි කාර්යභාරයක් සිදු කිරීමට නියමිත බවත්, එම ආයෝජනයෙන් 20%ක මුදලක් අමෙරිකාව විසින් වැය කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
‘සන්රයිස් ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති ගාසා ස්මාර්ට් නගර සැලසුම වසර 10ක ව්‍යාපෘතියක් වන අතර, ඒ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා රටවල් 32කට යොමු කර ඇතැයි සඳහන්.
සුඛෝපභෝගී හෝටල්, අධිවේගී දුම්රිය සහ කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ නව තාක්ෂණික සන්නිවේදන පද්ධති ඇතුළත් මේ ව්‍යාපෘ­තිය මඟින් ගාසා තීරය මධ්‍යධරණි වෙරළ තීරයේ වඩාත්ම කාර්යබහුල නගරයක් බවට පත් වනු ඇතැයි අපේක්ෂිතයි.
කුෂ්නර් සහ විට්කොෆ් එක්ව දින 45ක් පුරා සැලසුම් කරනු ලැබූ එම ව්‍යාපෘතිය සඳහා ඊශ්‍රායල ආරක්ෂක විශේෂඥවරුන්ගෙන් උපදෙස් ලබා ඇති අතර, ව්‍යාපෘතිය සඳහා අරමුදල් ගොඩ නැඟීමේදී පදනම් කරගන්නා රටවල් හෝ සමාගම් කවරේදැයි මෙතෙක් අනාවරණය කර නැහැ.

Share