‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා ඉන්දියාව අද අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් නිවේදනය කළා
එයට අමෙරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදාන ඇතුළත් බව ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා කොළඹ දී පැවසුවා. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ විනාශයට ප්‍රතිචාර ලෙස ඉන්දියාව දියත් කරන ලද සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා ඊයේ මෙරටට පැමිණියා.
ඔහු අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලිපියක් ජනාධිපතිවරයාට ලබා පිළිගැන්වූ බව විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළා.
ඊට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වුණා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද හමුවීමට නියමිතයි.
ආචාර්ය එස්. ජයිශංකර් – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානි පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ විස්තරාත්මක සාකච්ඡාවක් පවත්වන්නට මට අවස්ථාව හිමි වුණා
ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්රතිනිර්මාණ පැකේජයක් ලබාදීමට අනුමත කර තිබෙනවා
අපගේ සාකච්ඡා මූලික අරමුණ වුයේ මෙය ඉතා ඉක්මනින් ලබාදිය හැකි ආකාරය පිළිබඳවයි
ඔබගේ ආසන්නතම අසල්වැසි රට ලෙසත්, අපගේ අසල්වැසියා පළමුව සහ “මහසාගර්” ප්‍රතිපත්ති අනුවත්, මෙම ස්වාභාවික ආපදාවෙන් නැවත ගොඩනැගීම සඳහා ඇති හදිසි අවශ්‍යතාවය හඳුනාගෙන, අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලංකා රජය සමඟ ඔවුන්ගේ ප්‍රමුඛතාවයන්ට යටත්ව සම්බන්ධ වීමට උපදෙස් ලබාදුන්නා
අපි යෝජනා කළ සහාය පැකේජය ඇමරිකානු ඩොලර් මිලියන 450ක් වටිනාකමකින් යුක්තයි
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350ක සහන ණය මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදාන ඇතුළත්.
අපගේ ආධාරය සුළි කුණාටුවෙන් බරපතල ලෙස බලපෑ ප්‍රධාන අංශ 5ක් ආවරණය කෙරෙනවා
අංක1, මාර්ග, දුම්රිය හා පාලම් සම්බන්ධතාවයන් නැවත පුනරුත්ථාපනය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම
අංක 2, සම්පූර්ණයෙන් විනාශ වූ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස ඉදිකිරීමට සහාය ලබාදීම
අංක 3, සෞඛ්‍ය හා සුළි කුණාටුවෙන් හානි වූ අධ්‍යාපන පද්ධති සඳහා සහාය ලබාදීම
අංක 4, කෘෂිකර්මය, කෙටි හා මධ්‍යම කාලීනව ඇතිවිය හැකි හිඟයන්ට මුහුණදීමට අවශ්‍ය සහාය ලබාදීම සහ අංක 5, ශ්‍රී ලංකාවේ ජනතාව සුළි කුණාටුවේ බලපෑම අඩු කිරීම සඳහා ආපදා ප්‍රතිචාර සහ පෙර සූදානමක් සඳහා කටයුතු කිරීමට දැනුවත් කිරීම යනාදිය සඳහායි
අපි ඉතා ඉක්මනින් බෙදාහැරීම සඳහා කාර්යක්ෂම සම්බන්ධීකරණ ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා
මේ අතර ඉන්දියාවට ශ්‍රී ලංකාවට සහාය විය හැකි සහ විය යුතු වෙනත් ක්‍රම තිබෙනවා
අමාත්‍යතුමනි, විශාල සංචාරක ආර්ථිකයක් ඔබ සතුව පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සංචාරකයන්ගේ ගමනාගමනය ඉහළ නැංවීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා කියලා මම ඔබට සහතික කරනවා
ඒ වගේම, ඉන්දියාවෙන් විදේශීය සෘජු ආයෝජන වැඩි කිරීමෙන් ඔබගේ ආර්ථිකය සඳහා දිරිගැන්වීමක් ලබාදිමට අපේක්ෂිතයි





